හතේ හතද?

2015-05-20 09:56:00       590
feature-top
ජේ‍යාතිර් විද්‍යාවේ මෙන්ම අංක ගණිත ශාස්ත්‍රයේද, සාහිත්‍යයේද, මෙකී නොකී බොහෝ අංශවලට ඉතා වැදගත් වන වාසනාවේ අංක හත පිළිබඳව නොදන්නා කෙනකු නැහැනේ. අප මුලින්ම සංගීතයට මූලාරම්භය දුන් සප්ත ස්වරය ගැන සඳහන් කරමු. ස, රි, ග, ම, ප, ද, නි යනුවෙන් කී පමණින් සංගීතය ගැන දන්නා කිසිවකුටත් මෙම සප්ත ස්වරය නොදැන සංගීතයට අනුව ගැයීම හෝ වාදනය කළ නොහැකි බව නම් මතක් වෙනවා ඇත.


බෞද්ධ ඉතිහාසයේ මූලාරම්භය ලෙසට සිදුහත් කුමරා උපත ලද අවස්ථාවේදී සත් නෙලුම් මත ඇවිද ගිය බව සඳහන්. එසේම සිදුහත් කුමරා ගෞතම නමින් බුද්ධත්වයට පත්වීමෙන් පසුව සත් සතියක් ගත කළ බවත් සඳහන්. එසේම අතීතයේ සුදනන් හැඳින්වීමට සත්ගුණවත් උපාසකයන් ලෙසත් සඳහන් කර තිබෙනවානේ.
දේව කතා සාහිත්‍යයේදී සත්පතිනි ලෙසට හඳුන්වා දී ඇත්තේ පත්තිනි මෑණියන්ගේ දිව්‍යාත්ම සතයි. උරමාල, කරමාල, ගිනි, දෙවොල්, ඓරාවන, සිද්ධ සහ සමන් යනුවෙන් එය සඳහන්. එසේම බොහෝ දෙනාගේ සිත පිනවන දෙයක් ලෙසට සත්රුවන් ගතහැකියි. රන්, රිදී, මුතු, මැණික්, වෛරෝඩි, පබළු, දියමන්ති කියල කියන්නෙ ඒ සත් රුවන්වලට.


එසේම සතියකටත් දින හතක් තිබෙනවා. ප්‍රධාන ග්‍රහයන් සත් දෙනාගේ නම් අනුවයි එම දින හත නිර්මාණය කර ඇත්තේ. බෞද්ධ සාහිත්‍ය අනුව භාර්යාවන්ද සතක්. එනම් වදක භාර්යා, චෞර භාර්යා, ස්වාමි භාර්යා, මාතෘ භාර්යා, භගිනි භාර්යා, සති භාර්යා සහ දාසි භාර්යා ලෙසටයි. ජේ‍යාතිර් විද්‍යාවේදී යෝගද සතකි. එනම් සුබ යෝගය, සාධක යෝගය, අමෘත යෝගය, සිද්ධි යෝගය, අව යෝගය, කරණ යෝගය සහ මර යෝගය. එසේම සත්විධ බුදුවරුන් ගැනද බෞද්ධ සාහිත්‍යයේ සඳහන්. එනම් කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම, විපස්සි, සිඛී සහ වෙස්සභූ යනුවෙනි. එසේම සීවලී මහරහතන් වහන්සේ උපත ලැබීමට මවුකුසේ සත් අවුරුදු, සත් මාස, සත් සති, සත් දිනක් ගතවූ බවකුත් කියැවෙනවා. එසේම සෝවාන් වූවකු ආත්ම හතකින් පසුව නූපදින බවත් සාහිත්‍යයේ සඳහන්.


ශ්‍රී ලාංකේය ගැමි සංස්කෘතිය තුළ යම්කිසි පුද්ගලයකු මිය පරලොව ගිය පසුව දින සතක් ගෙවුණු පසුව හත් දවසේ දානය ලෙසට සංඝයා වහන්සේ නිවෙසට වඩම්මවා සාංඝික දානයක් දීම චාරිත්‍රයක් ලෙසට සිදු කරනවනේ. මෙය බෞද්ධ සංස්කෘතිය හා ඍජුවම බැඳී පවතින කරුණක්. කන්ද උඩරට ප්‍රදේශවල එකල හත් දවසේ මඟුල් කෑමක්ද සිදු කරනවා. ඒ කියන්නේ දින සතක් මඟුල් කෑම. අද දිනයේ පවතින ආර්ථික රටාව අනුව එය ප්‍රායෝගිකව සිදු කරන්න නම් අපහසුයි.


හත්මුතු පරපුරක් ගැනද අප කුඩා කල සිටම වැඩිහිටියන්ගෙන් දැන අසා තිබෙනවා. අප්පා, අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තා යනු හත්මුතු පරපුරයි.
සිංහල සදෙස් කාව්‍ය අතරද ප්‍රධාන සංදේශ කාව්‍ය සතක් දක්නට තිබෙනවා. මයුර සංදේශය, කොවුල් සංදේශය, පරෙවි සංදේශය, සැළලිහිණි සංදේශය, ගිරා සංදේශය, තිසර සංදේශය, හංස සංදේශය යනු එම සදෙස් කාව්‍යයන්ය. මේ අතර කෝට්ටේ යුගයේ බිහිවූ සැළලිහිණි සංදේශය ඉතාම ප්‍රසිද්ධම සංදේශ කාව්‍යය බවට පිළිගත හැකියි.
ශ්‍රී ලංකාවේ පැරැණි ගම්, නගර සීමාවන් බෙදා වෙන් කිරීමේදී ඒවා පත්තු ලෙසට හඳුන්වනවා. ප්‍රධාන වශයෙන් පත්තු හතකි. වන්නි හත්පත්තුව, දේවමැදි හත්පත්තුව, කටුගම්පල හත්පත්තුව, හිරියාල හත්පත්තුව, වෑඋඩවිල්ලි හත්පත්තුව, දඹදෙණි හත්පත්තුව සහ දෙමළ හත්පත්තුව ලෙසට ඒවා හඳුන්වා තිබෙනවා. ප්‍රධාන වශයෙන් ධාන්‍ය වර්ගද සතකි. එනම්, වී, සහල්, යව, තණ, ගෝධූව, වරක සහ කංගුය. එසේම තවත් බොහෝ අංක හත ප්‍රධාන වූ සාධක හඳුන්වනවා. සත් සමුදුර, සත්පියුම්, සත්විල්, සප්ත ගංගා, සප්ත අපරිහානිය ධර්ම, සප්ත බොජ්ජංගය ආදී වශයෙන් ඉතිහාසයේ, සාහිත්‍යයේ මෙන්ම බෞද්ධ ආගමික සංකල්ප තුළද මේවා බහුලව දැකිය හැකියි. අතීතයේදී පුදුම හත ලෙසද හැඳින්වූ ලොව මවිත කළ අසමසම නිර්මාණ වගේම අද දවසේ තරු සංකල්පය අනුව ගොඩනැඟුණු තරු හතේ හෝටල් පන්තිත් තිබෙනවා. ඇයි... සැමට වැදගත් වන කේන්දර සටහන තුළත් තිබෙන සත්වැන්න, හත්වැන්නේ සිකුරු සුබව සිටියහොත් විවාහය යහපත් වන බවත් කියනවනේ. එසේම සත්වැන්නේ ශනි සිටීම ගැනත් බොහෝ දුර්මත තිබෙනවා. ශනි හත්වැන්නට දිශා බල සහිත වීම නිසා මිත්‍යා මත බිඳ වැටෙන ගතියකුත් ප්‍රකාශ වෙනවා.

පොදුවේ ගත් කල අංක හත බොහෝ දෙනාට සුබ ඵල අවස්ථා දැකිය හැකි අතර එලෙසටම බොහෝ අයට අසුබ ප්‍රතිඵලද ගෙන දෙන බවක් අපි දැකල තිබෙනවා. එම නිසා විශේෂයෙන්ම මේ අංක හත පිළිබඳව අමුතු උනන්දුවක් අවශ්‍ය නැත. බොහෝ ව්‍යාපාරිකයෝ මේ අංක හත යෙදෙන හෝ මුළු එකතුව ශේෂය වශයෙන් අංක හත යෙදෙන ලෙසට ඇති අංක සහිත වාහන මිලදී ගැනීමට උත්සාහ කළත් සැමවිටම සැමටම මෙම අංක හත සුබ හෝ අසුබ ඵල ප්‍රදානය නොකරන බවද පැවැසිය යුතුමයි.
තමනට අවශ්‍ය නම් පමණක් ප්‍රවීණ අංක විද්‍යාඥයකුගේ උපදෙස් ලබා ගෙන මෙම අංක භාවිතය සුදුසුයි කියලයි මම හිතන්නෙ. එසේම බොහෝ දේවල්වලට ප්‍රබල සාධක සහිතවම යම් යම් අංක ප්‍රබලවම යෙදී ඇති බවත් මෙහිදී අනිවාර්යයෙන්ම කිව යුතුමයි.

Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »