නිදි යහන සිරියහනක්‌ වන්නට නම්.....

2015-05-26 09:19:00       660
feature-top
සෑම අයෙකුම ඇඳක්‌ සොයන්නේ සුවපහසු නින්දකටය. ලෑලි කෑල්ලක වුවත් හොඳ සැපට නිදියන අය රුපියල් දහස්‌ ගණන් ගෙවා සුවපහසු ඇඳන් හා මෙට්‌ට මිලදී ගන්නේ නින්ද තව තවත් සුව පහසු කරගැනීමටය.

රුපියල් ලක්‍ෂ ගණනක්‌ මිල දී ඇඳක්‌ ගත්තද එම ඇඳෙන් සුව පහසු නින්දක්‌ ලැබුණද ඇඳ නිසා ඇතිවන ප්‍රශ්න ගැන අපේ බොහෝ අය එතරම් අවධානය යොමු නොකරති.

ඔබේ නිවසේ ඔබ නිදියන ඇඳ තබා ඇති අයුරු දැන් මොහොතක්‌ මෙනෙහි කරන්න.

ඔබ නිදියන ඇඳේ හිස පැත්ත ඔබ කිසි විටෙකත් බස්‌නාහිර දෙසට නොතැබිය යුතුය. ආදිවාසියාගේ සිට මිනිසා බස්‌නාහිරට සිය හිස යොමු කරන්නේ මරණයට පත්වූ පසුවය. බස්‌නාහිර දෙසට ඇඳේ හිස නොදමන සාම්ප්‍රදායී තත්ත්වය මෙය වුවද එහි ජ්‍යෝතිෂ නියමයක්‌ද වෙයි. බස්‌නාහිර දිසාව කිසිදු සුබ කටයුත්තකට සුබ දිසාවක්‌ නොවන නිසා හිස එම පැත්තට දමා සයනය කිරීමද අසුබය.

ඔබ නිදන ඇඳේ දෙපා කිසිවිටකත් ඔබේ කාමරයට ඇතුළු වන ප්‍රධාන දොර දෙසට දැමීමද නොකළ යුතුය. ජ්‍යෝතිෂයට අනුව එය සලකනු ලබන්නේ අවාසනාවේ සංකේතයක්‌ හැටියටය. ලාභ සත්කාර අඩුවේ. විවාහ සැප නොලැබේ. සහකරු එසේ සයනය කරන්නේ නම් සහකාරියට අපලය. එහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයද එලෙසමය.

එමෙන්ම ඉහත කී පරිදි සයනය තබා ඇත්නම් ඔබට අසුබ සිහින දකින්නට වෙයි. සිහිනෙන් බය වීමටද ඉඩ ඇත. ලැබෙන දේට වඩා නොලැබෙන දේ වැඩි බැවින් කිසිවිටෙකත් ඔබේ ඇඳ ඒ ආකාරයෙන් නොතබන්න.

නිවසේ කාමරයක හරි මැද ඇඳ තැබීමෙන්ද වළකින්න. උපයන ධනය සෑම පැත්තකින්ම විනාශ වීම කෙරෙහි මේ තත්ත්වය බලපාන බව ජ්‍යෝතිෂ විශ්වාසයයි.

ඔබේ නිවසේ ඇඳෙහි හිස උතුරට හෝ නැගෙනහිරට තබන්නේ නම් යස ඉසුරු ලැබෙන බව ජ්‍යෝතිෂයේ කියවේ. තමුන් ඇඳෙහි ඇතිරිලි බිම ගෑවෙන සේa දමා තිබීම සියලු යස ඉසුරු ඉතා ඉක්‌මනින් විනාශ වී යැමට ඉඩ ඇති තත්ත්වයකි. මේ නිසා ඇඳට දමන ඇඳ ඇතිරිලි බිම නොගෑවෙන සේ දැමීමට වගබලා ගන්න. ඇඳට යොදන ඇඳ ඇතිරිලි වල වර්ණයද ඔබේ ලග්නයට, උපන් නැකතට ගැළපෙන වර්ණයෙන් වීම ඉතා වැදගත්ය.

ඇඳෙහි ලී වල දැව ආරක්‍ෂක දියර මිස වෙනත් තීන්ත වර්ණ ආලේප කිරීම නොකළ යුතු දෙයකි. අඩු ආයු ප්‍රමාණයක්‌ ලැබෙන්නේ අඳෙහි කලු තීන්ත ආලේප කිරීමෙනි. රතු තීන්ත ආලේප කළේ නම් සතුරු බිය ඔබේ ඇඳ කරා ද ලංවනු ඇත. මේ නිසා ඇඳේ ලී වල තීන්ත ආලේප කිරීම වර්ණ ගැන්වීම නොකළ යුතු දෙයකි.

ඇඳක්‌ ඇඳක්‌වීම සඳහා එය කිසියම් ලීයකින් තැනූ ඇඳක්‌ විය යුතුමය. ජ්‍යෝතිෂ මතයට අනුව යකඩ ඇඳක්‌ භාවිත නොකළ යුතුය. රත්තරනින් ඇඳක්‌ සෑදීමට හැකිනම් එය ජ්‍යෝතිෂයේද අනුමත කරයි. පෙර රජදරුවන් රත්තරන් ඇඳන් නිර්මාණය කළේ තම තේජස ආඩ්‍ය, සමෘද්ධිය වර්ධනය වීමට ඉපැරණි ජ්‍යෝතිෂයේ රත්තරන් ඇඳක්‌ අනුමත කළ නිසාය.

අද වෙළෙඳපොලේ මිල අධික ඇඳන් නියම ලී වර්ග වලින් සැදූ ඇඳන් නොවේ. ඒවා කෘත්‍රිමය. මේ ඇඳන්වල ඇත්තේ සුව පහසුව පමණකි. ජ්‍යෝතිෂය අනුව එහි නිදන පුද්ගලයාට අයත්වන කිසිදු යහපතක්‌ නොවේ.

රත්තරන් ඇඳ යහපත් ඇඳක්‌ වන්නේ රත්තරන් ප්‍රතික්‍රියා දක්‌වන ලෝහයක්‌ නොවන නිසාය. එහෙත් රිදී, තඹ, පිත්තල ඇඳන් යහපත් නොවේ.

ඇඳන් තැනීමට ගන්නා ලී වර්ගය ගැනද ඉතාම කල්පනාකාරී විය යුතුය. කොහොඹ ලීයෙන් ඇඳක්‌ තනාගන්නේ නම් ඔබට නීරෝගී සුවය මෙන්ම දීර්ඝායුෂද ලැබේ. පොල්, කිතුල්, තල් වැනි තාල වර්ගයේ ලී වලින් ඔබ තනාගන්නා ඇඳේදී ඔබේ ජීවිතය සදාකල්ම ඒකාකාරී වන්නේය. තාල වර්ගයේ ගස්‌ ඉතා ඉහළ වර්ධනය වුවත් ඔබේ ජීවිතය ඉහළට ගමන් නොකරයි.

බුරුත ලීයෙන් කරන ඇඳ ද ඔබට සැප සම්පත් ළඟා කොට දෙන ඇඳකි. කදුරු, නා වැනි ලී ඇඳන් තැනීමට යොදා නොගත යුත්තේ එම ඇඳන් ඔබේ ජීවිතය පුරාවටම දුක පමණක්‌ ළඟා කරන නිසාය. සඳුන්, මූණමල්, කොස්‌ වැනි ලී වර්ගයද ඇඳන් තැනීමට ඉතා යෝග්‍ය ලී වර්ග වන්නේය.

ඔබ භාවිත කරන ඇඳේ ඉහපත කොටසේ කැටයම් කැපීම ඉතා උචිත ක්‍රියාවක්‌ වුවත් එම කැටයම් කැපීමේදී මල්වැල්, හංස පූට්‌ටු, පුන්කළස්‌ මිස වෙනත් සත්ව රූප නොකෙටිය යුතුය. මල්වැල් හොඳ නමුත් දියවැල් හොඳ නැත. එය ජීවිතයට මරුවැලකි.

මේ නිසා ඔබ ඔබේ ජීවිතයේ විඩාව නිවා ගැනීමට සාදාගන්නා ඇඳ නිසි ලීයෙන් තනා නිසි ස්‌ථානයක තබා ඔබේ ඇඳ සිරියහනක්‌ම කර ගැනීමට වගබලා ගතයුතු වන්නේය.

Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »