ජුනි 05 සිට ජූලි 02 දක්වා ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව ලග්න පලාපල

2015-06-09 09:29:00       672
feature-top
මේෂ
රැකියා දියුණුව
2015 ජුනි 05 සිට ජූලි 02 දක්වා කාලවකවානුව මේෂ ලග්න හිමියන්ට සුබදායක තත්ත්වයක් උදාවිය හැකි මාසයකි. රැකියා කටයුතුවල උසස් ප්‍රගතියක් මෙන්ම රැකියාවල උසස් තනතුරු සඳහා පවත්වනු ලබන තරග විභාගාදියෙන් නිසැක ජය ලැබෙන කාලසීමාවකි. රැකියා ස්ථානයේ සේවයේ නියුතු සියලුදෙනා සමග සුහදව කටයුතු කළ හැකි පරිසරයක් ගොඩනැගෙන අතර ආදායම් කටයුතු නිසි පරිදි සංවිධානය කරගැනීමට හැකිවන මාසයකි. අධ්‍යාපනයේ නිරත වන දරු දැරියන්ට යහපත්ය. තම පුද්ගලික දියුණුව පිළිබඳ විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරනු ඇත. ගෘහ ජීවිතය ප්‍රීතිමත්ය.

වෘෂභ
සිතට සහනය
වෘෂභ ලග්න හිමියන්ට මෙම මාසය සුබපල ගෙන දෙන බව පෙන්නුම් කරයි. රැකියා කටයුතුවල නව මුහුණුවරක් ඇතිවේ. උනන්දුව හා ධෛර්යය වැඩිවන අතර ව්‍යාපාරිකයන්ට තම අදහස් සපුරා ගැනීමට හැකිවේ. නව ආදායම් මාර්ග ගොඩනැගී ආර්ථිකයේ සුවිශේෂී ප්‍රගතියක් මෙම කාලවකවානුව තුළදී සිදුවන බව පෙනී යයි. ඔබගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව තම අරමුණු ඉටුකර ගැනීමට හැකිවන අතර කලක් පැවැති අදහසක් ඉටුකර ගැනීමට හැකිවන මාසයකි. ගෙදරදොර කටයුතු යහපත් ලෙස පවත්වාගෙන යෑමට හැකිවේ. ගෘහ ජීවිතයේ සාමය හා සමාදානය සුරක්ෂිත වන අතර සිතට සහනදායී තත්ත්වයක් ගෙනදෙන මාසයකි.

මිථුන
ආර්ථික අපහසුතා
මිථුන ලග්න හිමියන්ට 2015 ජුනි 05 සිට ජූලි 02 දක්වා කාලවකවානුව මිශ්‍රපල ගෙනදෙන බව පෙනී යයි. රැකීරක්ෂා කටයුතුවලට වරින් වර බාධා ගෙනදෙන අතර උදාසීන තත්ත්වයක්ද මතුවීමේ හැකියාවක් පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලබාගත හැකි වුවද රැකීරක්ෂා කටයුතුවල නියුතු වූවනට ආර්ථික අපහසුතාවලට මුහුණ පෑමට සිදුවිය හැකි බව පෙනී යයි. විදේශගත වීමට අදහස් කළ අයගේ අපේක්ෂාවන් සාර්ථක වන අතර අධ්‍යාපන කටයුතුවලින් උසස් ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවන මාසයකි. නීති ගැටලු නිසා තම ප්‍රතිරූපයට හානි ගෙනදීමේ ප්‍රවණතාවක් පවතී. යුගදිවිය ප්‍රීතිමත්ය.

කටක
විදෙස් ගමන්
කටක ලග්න හිමියන්ට මෙම මාසය සුබදායකය. රැකියා කටයුතුවල උසස් ප්‍රගතියක් දක්නට ලැබේ. රැකියා අපේක්ෂකයන්ගේ සිහින සැබෑවේ. ව්‍යාපාරිකයන්ට වාසිදායක වන අතර තම ව්‍යාපාර පුළුල් කිරීමට හැකිවන බව පෙන්නුම් කරයි. ආර්ථිකයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන කාලවකවානුවකි. අධ්‍යාපන කටයුතු උසස් අන්දමින් කරගෙන යෑමේ හැකියාව දක්නට ලැබේ. මෙම මස අග භාගයේදී විදෙස් ගමන් බලා‍පොරොත්තු වූ කටක ලග්න හිමියන්ගේ බලා‍පොරොත්තු ඉටුවන බව පෙනී යයි. ආගමික කටයුතුවලට තම කාලයත්, ධනයත් වැය කිරීමට පෙළඹෙනු ඇත. අඹුසැමි සුහදතාව වර්ධනය වේ.

සිංහ
වැයපස ඉහළට
2015 ජුනි 05 සිට ජූලි 02 දක්වා කාලසීමාව සිංහ ලග්න හිමියන්ට මිශ්‍රපල ගෙන දෙන බව පෙනී යයි. රැකීරක්ෂා කටයුතු සම්බන්ධයෙන් පෙරට වඩා සුබදායක වාතාවරණයක් ගෙනදේ. රැකියා ස්ථාන මාරුවීම් බලා‍පොරොත්තු වූ අයගේ අපේක්ෂාවන් ඉටුවන අතර වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට පාඩු ගෙනදෙන කාලවකවානුවකි. අතිරේක ධන ලාභ ලබාගත හැකි වුවද අනපේක්ෂිත ලෙස මුදල් වියදම් වන බව පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතු සාමාන්‍ය තත්ත්වයෙන් ගෙනයෑමට හැකිවන අතර, පවු‍ලේ සමගිය හා සමාදානයට බාධා හා අවහිරතා ගෙනදිය හැකි මාසයකි.

කන්‍යා
පීඩාකාරී තත්ත්වයක්
මෙම කාලවකවානුව කන්‍යා ලග්න හිමියන්ට එතරම් සුබදායක නොවන බව පෙනී යයි. රැකීරක්ෂා කටයුතුවලට යම් යම් බාධක හා අවහිරතා ගෙනදෙන අතර වෙළෙඳ ව්‍යාපාර ආදියෙන් පාඩු ගෙනදේ. ප්‍රමාණය ඉක්මවා වැයපස ඉහළ යෑම නිසා ණයතුරුස් වීමට පවා සිදුවිය හැකි මෙම මාසය තුළදී උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බව පෙනී යයි. කෙසේ හෝ මෙම මාසය අග භාගයේදී සියලු බාධක මැඬගෙන තම කාර්යයන් සාර්ථක කරගත හැකි වනවා ඇත. නීති ප්‍රශ්නයකින් තමාට වාසි වන ආකාරයේ විසඳුමක් ලැබේ. මූල්‍යමය වරප්‍රසාදයක් අනපේක්ෂිත ලෙස හිමිවීමේ භාග්‍යය උදාවන අතර පවු‍ලේ සුහදතාව වර්ධනය වේ.

තුලා
විදෙස් අධ්‍යාපනය
2015 ජුනි 05 සිට ජූලි 02 දක්වා කාලවකවානුව තුලා ලග්න හිමියන්ට සුබපල ගෙන දෙන මාසයකි. රැකියා කටයුතුවලින් සතුටුදායක තත්ත්වයක් උදාකරයි. රැකියා ප්‍රධානීන්ගේ ආදරය හා ගෞරවය හිමිවේ. ව්‍යාපාරික කටයුතුවල සුවිශේෂී දියුණුවක් ලබාගත හැකි අතර තම ව්‍යාපාරයන් පුළුල් කිරීමට හැකිවන මාසයකි. ආදායම් තත්ත්වය උසස් මට්ටමක පවතී. අධ්‍යාපන කටයුතුවල නියුතු වූවනට විදේශගතව අධ්‍යාපනය හැදෑරීමට භාග්‍යය උදාවේ. ගුරුවරුන්ට යහපත්ය. විනෝද ගමන් යෙදෙන අතර හිත මිත්‍ර සබඳතා ඇතිවේ. විනෝදයෙන් කාලය ගත කළ හැකි මාසයකි. යුගදිවිය ප්‍රීතිමත්ය.

වෘශ්චික
මිශ්‍රපල
මෙම මාසය වෘශ්චික ලග්න හිමියන්ට මිශ්‍රපල උදාකරයි. රැකීරක්ෂාවල දියුණුව ගෙනදෙන අතර රැකියා කටයුතු සඳහා දුරබැහැර ගමන් යෑමට සිදුවේ. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට බලා‍පොරොත්තු වූ තරම් ලාභ නොලැබෙන අතර ආර්ථිකය යහපත් වුවද වැයපස ඉහළ යන බව පෙනී යයි. අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙනදෙයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබේ. ඉක්මන් තීරණ ගැනීම නිසා පාඩු සිදුවිය හැකි මාසයකි. දේපළ සම්බන්ධව සහෝදර පක්ෂයේ විරෝධතාවක් එල්ල වන අතර යම් යම් බාධා අවහිර, ගැටලු ඇතිවුවත් ඔබට අරමුණු අපේක්ෂා ඉෂ්ට කරගැනීමේ හැකියාව පවතී. ගෘහ ජීවිතය යහපත්ය.

ධනු
නව නිල බලතල
මෙම මාසය ධනු ලග්න හිමියන්ට ප්‍රබෝධවත් මාසයකි. රැකියා කටයුතුවල සතුටුදායක වෙනසක් පෙන්නුම් කරයි. රැකියා ස්ථානයේ උසස් නිලධාරීන්ගේ සහයෝගය ලැබිමෙන් ඔබේ සිතට සතුට ගෙන දෙන අතර රැකියාවේ නව බලතල හිමිවන කාලසීමාවකි. ව්‍යාපාරිකයන්ට තමන් නොසිතූ ලාභ ලබාගත හැකිවනු ඇත. ආදායම් මාර්ගවල සැලකිය යුතු ප්‍රගතියක් හා දියුණුවක් ලැබුවද නිෂ්ඵල වියදම් අධික කරන මාසයකි. අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයක් දක්නට ලැබෙන අතර මහලු කාන්තාවකගෙන් තමාට වාසි ලබාගත හැකි බව පෙන්නුම් කරයි. ඇසුරු කරන්නන්ගේ හොඳ හිත වර්ධනය කරගැනීමට හැකිවන මාසයකි.

මකර
සුබදායකය
2015 ජුනි 05 සිට ජූලි 02 දක්වා කාලවකවානුව මකර ලග්න හිමියන්ට සුබපල රැසක් ගෙනදීමට හේතුවේ. රැකියාවල නිරත මකර ලග්න හිමියන්ගේ රැකියාවේ සාර්ථකත්වය ගෙනදෙන අතර රැකියා උසස්වීම් ලැබිමට භාග්‍යය උදාවන මාසයකි. තම හැකියාවන් හා දක්ෂතාවන් වර්ධනය කරගත හැකිවේ. ව්‍යාපාරිකයන්ට වාසි ලබාගත හැකි කාලසීමාවකි. නව ව්‍යාපාර ආරම්භ කිරීමේ සැලසුම්වල නිරත අයට ඒවා විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවන බව පෙනී යයි. මිල මුදල් ලැබිම අතින් යහපත්ය. අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර ගෘහ ජීවිතයේ සතුට උදාවන මාසයකි.

කුම්භ
දරු සම්පත්
මෙම මාසය කුම්භ ලග්න හිමියන්ට සුබපල ගෙන දෙනු ඇත. රැකියා කටයුතුවලින් යහපත් ප්‍රතිඵල උදාකරයි. ආර්ථිකය යහපත් වුවද අනපේක්ෂිත සිද්ධීන් මතුවීම තුළ තම ධනය වැයවීමට කරුණු යෙදේ. ව්‍යාපාරිකයන්ට තම අදහස් මුදුන් පමුණුවාගත හැකි බව පෙන්නුම් කරන අතර අධ්‍යාපනය ලබන්නන්ට ඉන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකි කාලවකවානුවකි. සුව පහසුවට අවශ්‍ය දේ මිලයට ගනී. තම අදහස්වලට අනුව වැඩකටයුතු ක්‍රියාත්මක වන බව පෙනී යයි. ඉඩකඩම්, ගේදොර පිළිබඳ ගැටලු නිරාකරණය වන අතර දරුපල ප්‍රමාද වූ කුම්භ ලග්න හිමි කාන්තාවන්ට වාසනාවන්ත දරු ලාභයක් හිමිවීමේ භාග්‍යය උදාවිය හැකි මාසයකි.

මීන
ආර්ථික දුෂ්කරතා
මීන ලග්න හිමියන්ට මෙම මාසය මිශ්‍රපල උදාකරනු ඇත. රැකියාව සුපුරුදු පරිදි කරගෙන යෑමට හැකි වුවත් රැකියාවේ වෙනසක් හෝ ස්ථාන මාරුවක් ගෙනදිය හැකි අතර තාවකාලික රැකියාවල නිරත අය ස්ථිර වන බව පෙන්නුම් කරයි. ආදායම් තත්ත්වයේ ප්‍රගතියක් දක්නට ලැබෙන අතර අනවශ්‍ය දේවල් සඳහා අනිසි ලෙස මුදල් වැය කිරීමෙන් ආර්ථික දුෂ්කරතාවලට මැදිවී සිටීමට සිදුවනු ඇත. ව්‍යාපාරිකයන්ට බලා‍පොරොත්තු වූ තරම් ලාභ නොලැබේ. අධ්‍යාපන කටයුතුවලට යහපත්ය. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සතුටුදායක වීමට හැකිවන වාතාවරණයක් ගොඩනැගේ. යුගදිවිය ප්‍රීතිමත්ය.

Wmqgd .ekSu r mqj;am; weiqfrks

More News »