උදාවන සතියේ ඔබේ දෛවය

2017-10-30 10:17:00       350
feature-top
මේෂ 
ඔබේ ලග්නාධිපති කුජ සමඟ සිකුරු හයවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සුබදායකයි. ගෘහ ජීවිතය මිශ්‍රඵලදායක බව පෙනේ. මුදල් ලාභ ලැබේ. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. සමාජ සේවා කටයුතුවල නිරත වීමට සිදුවේ. දරුවන් ගැන සැලකිලිමත් වන්න. 
ආයෝජන කටයුතු කිරීමේදී හා හවුල් ව්‍යාපාරවලදී වඩාත් සැලකිලිමත් වන්න. රැකියා හා ව්‍යාපාර අංශ වලට මෙතෙක්‌ පැවති සේවක ගැටලු නිමවේ. මංගල කටයුතුවලට බාධා ඇතිවිය හැකියි. සතුරු කරදරවලින් ජය ලැබේ. බලාපොරොත්තු වු ණය මුදලක්‌ ලබාගත හැකිවේ. මෙතෙක්‌ පැවැති අසනීපවලින් සුවය ලබා ගන්නටත් නිසි වෛද්‍ය ප්‍රතිකාර ගැනීමටත් පහසුකම් සැලසේ. 
 
සුබ පාට - රෝස සුබ අංකය - 3.
 
වෘෂභ 
 
 ඔබේ ලග්නාධිපති සිකුරු සමඟ කුජ පස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵල දායක වේ. අනවශ්‍ය ලෙස විනෝදයට බර වීමෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවිය හැකියි. ගෘහ ජීවිතය පිළිබඳව සතුටුදායක බවක්‌ පෙන්වයි. විවාහ අපේක්‌ෂිත තරුණ තරුණියන්ට මංගල යෝග උදාවේ. දරුවන් පිළිබඳ සුබදායක ආරංචි අසන්නට ලැබේ. නිවසේ ප්‍රීති උත්සව හා ආගන්තුක සත්කාර වැඩිවන සතියකි. රහස්‌ සතුරන්ගෙන් ජය ලැබේ. ණය මුදලක්‌ ලබා ගැනීමට තිබූ බලාපොරොත්තු සාර්ථක වේ. ඉඩකඩම් ගෙවල් දොරවල් සම්බන්ධව නීති ප්‍රශ්නවලට සුබ නොවේ. රැකියා කටයුතුවල උනන්දුව හා ප්‍රබෝධය වැඩි වේ. රැකියා අපේක්‍ෂාවෙන් සිටින අයගේ පැතුම් ඉටු වේ. දියර ආශ්‍රිත ව්‍යාපාරවලින් ලාභ ලැබෙනවා ඇත. ස්‌වයං රැකියාවල නිරත වෙන අයට සුභදායක වේ. විදෙස්‌ ගමන් සාර්ථක වෙයි. සෙනසුරු ග්‍රහයා අටවැන්නේ ගමන් කරන නිසා ශරීර සනීපය ගැන වඩාත් සැලකිලිමත් වන්න. සෙනසුරුට අදාළ ශාන්ති කර්ම කර ගැනීම යහපත් වේ. 
 
සුබ පාට - මිශ්‍ර ලා, සුබ අංකය - 6.
 
මිථුන 
 
ඔබේ ලග්නාධිපති බුධ, රවි සමඟ ගුරු පස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය සුබදායක වේ. අධ්‍යාපන කටයුතුවල යෙදෙන දරුවන්ට සුබදායක වේ. තරඟකාරී කටයුතුවලින් ජය ලැබෙයි. ගෘහ ජීවිතය සතුටුදායකයි. යාන වාහන, ස්‌ථාන ලාභ ඇතිවීමට ඉඩ ඇති සතියකි. දරුවන් අපේක්‍ෂාවෙන් සිටින අයට වාසනාවන්ත දරුවන් හිමි වේ. කෘෂිකාර්මික කටයුතුවලින් ලාභ ලැබේ. වියදම් පාලනය කර ගන්න. විවාහ යෝජනා සඵල වේ. බාල සහෝදරයන් ගැන සැලකිලිමත් වන්න. උගත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබෙන සතියකි. අලුත් නෑ හිත මිතුරු සබඳතා ඇතිවේ. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරන විට දුර දිග බලා කටයුතු කරන්න. රැකියා කටයුතු සාර්ථකව කරගෙන යැමට හැකියාව ලැබේ. විදෙස්‌ ගමන් සාර්ථක වේ. ආගම දහමට සිත යොමු වේ. සෞඛ්‍ය යහපත් වේ. 
 
සුබ පාට - ලා කොළ, සුබ අංකය - 4.
 
කටක 
 
ඔබේ ලග්නාධිපති සඳු, කේතු සමඟ හත්වැන්නේ ගමන් කරමින් උදාවන සතිය සුබදායක වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබදායක වේ. චිත්ත ධෛර්යය උසස්‌ මට්‌ටමක පවතී. ප්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් නිතර යෙදේ. ලිපි ලේඛන හා ශාස්‌ත්‍රිය කටයුතුවලින් ජය ලැබේ. ගෘහ ජීවිතය සාමයෙන් හා සතුටින් ගත කිරීමට උත්සාහ ගන්න. මව්පියන් ගැන සැලකිලිමත් වන්න. තැන්පත් ධනය පරිහරණයේ දී සැලකිලිමත් වන්න. සතුරු කරදර පරාජය කිරීමට ශක්‌තිය ලැබේ. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. ව්‍යාපාරිකයන්ට ලාභ ලැබේ. 
 
රැකීරක්‌ෂා කටයුතු සාර්ථක කර ගැනීමට උනන්දු වන්න. සති අන්තය වන විට හිතේ තිබූ කරදරයකින් නිදහස ලැබෙනවා ඇත. සතිය මුලදී සෙම් රෝග වැනි අපල පෙන්වයි. 
සුබ පාට - සුදු, සුබ අංකය - 2.
 
සිංහ 
 
ඔබේ ලග්නාධිපති රවි, බුධ සමඟ ගුරු තුන්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය සුබදායක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා විය හැකි වන්නේ උදාසීන බව වැඩ කල් දැමීම නිසා බැවින් උනන්දුවෙන් කටයුතු කිරීම වැදගත් වේ. උත්සාහයේ ධෛර්යයේ තරමටම ප්‍රතිඵල නොලැබෙන බව පෙනේ. අසල්වාසීන්ගේ සහයෝගය ලැබේ. බාල සහෝදරයන්ට සුබයි. කෙටි ගමන් බිමන් යෙදේ. තම නිර්මාණ ශක්‌තිය විදහා දැක්‌වීමට හැකි සතියකි. විදේශ රැකියා අපේක්‌ෂාවෙන් සිටින අයට බලාපොරොත්තු ඉටු වේ. රැකියා කටයුතුවල සාර්ථකත්වයක්‌ දැකිය හැකි වේ. ව්‍යාපාරිකයන් ලාභ බලාපොරොත්තුවෙන් මුදල් වියදම් කරන විට කල්පනාකාරී වන්න. සමාජ සේවා කටයුතුවල නිරත වන අයට කීර්ති, ප්‍රශංසා හිමි වෙයි. සෞඛ්‍යය යහපත් වෙයි. 
සුබ පාට - දිළෙන සුදු, සුබ අංකය - 1.
 
කන්‍යා 
 
ඔබේ ලග්නාධිපති බුධ, රවි සමඟ ගුරු දෙවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක වේ. ඉගෙනීමේ කටයුතුවල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබඵල දෙයි. වාසනාවට වඩා උත්සාහය ගැන විශ්වාසය තබා කටයුතු කරන්න. එවිට මෙම සතිය තුළ ජයග්‍රහණ හිමි කරගත හැකි වේ. ගෘහ ජීවිතය ගත කරන අය ඉවසීමෙන් කටයුතු කරන්න. මෙම සතියේ ධනය ලැබීමත්, ආදයම් මාර්ග වැඩිදියුණු වීමක්‌ සිදුවන අතර තැන්පත් ධනය පරිහරණයේදී සැලකිලිමත් වන්න. තම කථාවේ බලයෙන් බොහෝ දේ ලබා ගැනීමට හැකියාව ලැබේ. මෙතෙක්‌ විවාහය ප්‍රමාද වූ අයට මංගල යෝග උදාවෙයි. පවුලේ කෙනෙකුට නීතිමය ප්‍රශ්න ඇති වීමට ඉඩ තිබේ. රැකියාව හෝ ව්‍යාපාරය ගැන වැඩි කැපවීමකින් ක්‍රියා කිරීමට පෙළඹේ. ඇස්‌වල රෝග ඇතිවීමට ඉඩ තිබේ. 
සුබ පාට - ලා කොළ, සුබ අංකය - 4.
 
තුලා 
 
ඔබේ ලග්නාධිපති සිකුරු සමඟ කුජ දොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක බව පෙනේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉගෙනීමට තිබූ බාධා ඉවත් වෙයි. උත්සාහය ධෛර්යය ඉහළ යයි. ගෙදර දියුණුව ඇතිකර ගැනීමට පහසුකම් ඇතිවේ. කෘෂිකාර්මික කටයුතුවලින් ලාභ ලැබේ. වියදම් පාලනය කර ගන්න. සතුරු කරදර ගැන සැලකිලිමත් වන්න. විවාහ මංගල කටයුතුවලදී තිරණ ගැනීමේදී ඉතා කල්පනාකාරී වන්න. විවාහ සහකරුට තරමක්‌ අපල බවක්‌ පෙන්වයි. උසස්‌ කෙනකු හෝ වැඩිමහල් සහෝදරයකු අමනාප වීමට ඉඩ තිබේ. ගමන් බිමන්වලදී ප්‍රවේශම් වන්න. රැකියා හා ව්‍යාපාර කටයුතු කිරීමේදී උත්සාහය හා ධෛර්යය වර්ධනය කරගත යුතු වේ. උෂ්ණාධික රෝග ඇති විය හැකිය. 
සුබ පාට - මිශ්‍ර ලා, සුබ අංකය - 6.
 
වෘශ්චික 
 
ඔබේ ලග්නාධිපති කුජ සමඟ සිකුරු සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක බව පෙනේ. ඉගෙනීමේ කටයුතුවල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරමක බාධා ඇති විය හැකිය. පවුලේ වියදම් ඉහළ යැමට කටයුතු යෙදිය හැකියි. තැන්පත් ධනය පරිහරණයේ දී සැලකිලිමත් වන්න. අලුත් හිත මිතුරන් හඳුනාගැනීමට ඉඩ ලැබේ. රැකියා හා ව්‍යාපාරික කටයුතු උත්සාහවන්තව සාර්ථක කරගැනීමට ඉඩ ලැබේ. රැකියා හා ව්‍යාපාරික ස්‌ථානවල උසස්‌ අය සමඟ ප්‍රවේශමෙන් කටයුතු කරන්න. නීතිමය ගැටලුවලට මැදිහත් නොවන්න. මව්පියන් දූ දරුවන් සමඟ සතුටින් කාලය ගත වේ. විදේශ රැකියා විදේශ ගමන්වලට තරමක බාධා ඇතිවිය හැකියි. සෙම් රෝග හා වාතාබාධ වැනි අසනීප ගැන සැලකිලිමත්වීම වැදගත් වේ. 
සුබ පාට - සුදු, සුබ අංකය - 2.
 
ධනු 
 
ඔබේ ලග්නාධිපති ගුරු, රවි, බුධ සමඟ සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌ වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය සුබදායක වේ . අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ගෘහ ජීවිතය පිළිබඳ සතුටුදායක තත්ත්වයක්‌ පෙන්වයි. අසල්වාසීන් අතර පවතින සුහදතාව ආරක්‌ෂා කර ගැනීමට සැලකිලිමත් වන්න. ගොවිතැන් කටයුතුවලින් ලාභ ලැබේ. ගෙදර ජල සම්පාදන කටයුතුවලට හෝ ළිං කැපීමට සුභයි. ගෘහ ජීවිතය සතුටින් ගතවේ . ගෙදර දියුණුවට කරන කරන කටයුතු සාර්ථක කරගත හැකි වේ. රැකියා හා ව්‍යාපාර මිශ්‍රඵලදායක වේ. උසස්‌ අයගේ උදව් උපකාර ලැබේ. බලවත් මිතුරන් හඳුනා ගැනීමට අවස්‌ථාව උදාවේ. ප්‍රීති උත්සව වලට සහභාගි වීමට ඉඩ ලැබේ. ආදායම් අඩුවීමට ඉඩ ඇත. ශනි ලග්නයේ ගමන් කරන බැවින් සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. සෙනසුරු අපලයට අදාළ ශාන්ති කර්ම කර ගන්න. 
සුබ පාට - කහ, තැඹිලි, සුබ අංකය - 05.
 
මකර 
 
ඔබේ ලග්නාධිපති ශනි දොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක වේ . අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකි වේ. උසස්‌ අධ්‍යාපන කටයුතුවලට විදේශ ගමනකට දොරටු විවර වේ. ගෘහ ජීවිතය පිළිබඳව බොහෝ කටයුතු සාර්ථක කර ගත හැකි වේ. විවාහ සහකරුට සුබදායක වේ. අවිවාහක අයගේ මංගල යෝජනා ස්‌ථිර වීමට කරුණු යෙදේ. 
රැකියා අපේක්‌ෂිත අයට පැතුම් ඉටුවෙයි. රැකියා අංශවල තත්ත්වය සුබදායකයි. ඔබේ නායකත්ව ගතිගුණ ප්‍රදර්ශනය කරමින් අන් අය අතර ප්‍රධානත්වයක්‌ ඇතිව කටයුතු කිරීමට හැකි වේ. ආයතන ප්‍රධානීන්ගේ සැලකිල්ල ලැබෙන අතර තනතුරුවල උසස්‌වීම් ලැබේ. ව්‍යාපාර සදහා මුදල් යෙදවීමේදී දුර දිග බලා කටයුතු කරන්න. සෞඛ්‍යය යහපත් වේ. 
සුබ පාට - නිල්, සුබ අංකය - 7.
 
කුම්භ 
 
ඔබේ ලග්නාධිපති ශනි සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක බව පෙනේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකි වේ. දරුවන්ට සුබයි. උසස්‌ අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා ඇතිවිය හැකිය. විදේශ ගමන්වලදී ප්‍රවේශම් විය යුතුය. ගෘහ ජීවිතය ගත කරන අය ඉවසිලිවන්තව හා බුද්ධිමත්ව ගත කිරීම යහපත් වේ. බිරිඳ හෝ සැමියාට එතරම් යහපත් නොවේ. මේ අතර නිවසේ ඉදිකිරීම් වැනි දියුණුවට කරන දේවල් තරමක්‌ දුරට සාර්ථක කර ගැනීමටද හැකියාව ලැබේ. නව රැකියා අපේක්‌ෂිත අයගේ පැතුම් ඉටුවෙයි. රැකියා හා ව්‍යාපාර අංශවල තරමක බාධා පවතී. රැකියා ප්‍රධානීන් අමනාප වීමට කරුණු යෙදේ. අලුත් යහලු යෙහෙළියන් හඳුනා ගැනීමට අවස්‌ථා උදාවන සතියකි. වැඩිහිටි පක්‌ෂයේ හිතවතුන්ගේ උපකාර හිමි වෙයි. මව හෝ පියා ගැන සැලකිලිමත් වන්න. හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වීමට වග බලා ගන්න. 
සුබ පාට - නිල්, සුබ අංකය - 7.
 
මීන 
 
ඔබේ ලග්නාධිපති ගුරු, රවි සමඟ බුධ අටවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵල දායක වන බව පෙන්වයි. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකි වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වන දරුවන්ට අධ්‍යාපනය සඳහා විදෙස්‌ ගතවීමට ඉඩකඩ සැලසේ. ගෘහ ජීවිතය සතුටින් ගත කිරීමට උත්සාහ ගන්න. දරුවකුගේ දියුණුව පිළිබඳව සතුටු විය හැකි බව පෙනේ. විවාහ අපේක්‌ෂිත තරුණ තරුණියන්හට මංගල යෝග උදාවෙයි. බිරිඳ හෝ සැමියාට එතරම් යහපත් නොවේ. රැකියා අංශවල උසස්‌ වීම්වලට බාධා, සේවක ගැටලු ඇති විය හැකිය. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරන විට දුරදිග බලා කටයුතු කරන්න. ආදායම් පහළ යැමට ඉඩකඩ ඇති වේ. රහස්‌ සතුරන්ගෙන් ජය ලැබේ. හිත මිතුරන් සමඟ සතුටින් කාලය ගත වේ. ගුරු දශා ගතකරන අය දියවැඩියාව හා කොලෙස්‌ටරෝල් වැනි රෝගවලින් ප්‍රවේශම් වන්න. 
 
සුබ පාට - කහ, තැඹිළි, සුබ අංකය - 2.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »