වසර තිහකට පසු ලග්න තුනකට සෙනසුරු සලකයි

2017-11-22 10:02:00       1805
feature-top
පසුගිය ඔක්‌තෝබර් 26 දා ධනුරාශි ගතවු සෙනසුරු ලග්න තුනකට සුබඵල ලබාදෙන්නේ කොන්දේසි සහිතවයි. එනම් තුලා ලග්නයේ සඳු 04-03-02-08 යන ස්‌ථානවලත් කුම්භ ලග්නයේ 10-11-12-04 යන ස්‌ථාන වලත්, කටක ලග්නයේ 5-6-7-11 යන ස්‌ථානවල සඳු ග්‍රහයා උපතින් නොසිටියේනම් පමණි. විශේෂයෙන් ඉපදීමේ ඇති දුක්‌ත බව හඳුන්වා දෙන්නේ සෙනසුරුය. සෑම ජීවිතයකටම සෙනසුරුගේ නෛසර්ගික බලය ලැබේ. එනම් දුකය.
 
 ප්‍රශ්න කරදර අවහිර බාධක අමාරුකම් යන මිනිස්‌ ජීවිතයකට උරුම එකී දේවල්වල හිමිකරුවා ඔහුය. මෙසේවූ සෙනසුරුට තම නෛසර්ගික ගතිය වෙනස්‌ කර ඊට වෙනස්‌වූ සුබ ප්‍රතිචාර ලබා දෙන අවස්‌ථා උදාවන්නේ යම් කේන්ද්‍රයක 03-06-11 යන ස්‌ථානවලට ඔහු ග්‍රහ චාරයෙන් පැමිණෙන කාලයට බව පරාශර සෘෂි නියමය වෙයි.
 
 ඒ අනුව තුලා ලග්නයේ 03 වැන්නටත් කටක ලග්නයේ 06 වැන්නටත් කුම්භ ලග්නයේ 11 වැන්නටත් පසුගිය ඔක්‌. 26 වැනි දින පැමිණි සෙනසුරු සඳුගේ පිහිටීම ඉහත කී පරිදි නොවු එකී ලග්න හිමියන්ට සුබ ඵල ලබා දෙනු ඇත. එසේ ඇති කරන සුභඵලවල ස්‌වභාවය පහතින් මේ ලිපියෙන් දිග හැරෙයි. මේ සුබඵල ඒ ලග්න හිමියනට විවිධ විය හැකිය. එයට හේතු හතරක්‌ බලපායි. මේ හේතු හතර හැම කෙනෙක්‌ම හඳුනා ගත යුතුය.
 
 01. කාල විපතිය එනම් අසුබ ග්‍රහයෙකුගේ මහ දශාවක ගමන් කිරීම 02. ගති විපත්ති යනු එම මහ දශාවේ පවතින අතුරු දශාවද අසුබ දශාවක්‌ වීම. 03. උපධි විපත්තිය යම් කිසි අන්දමකින් ඔත්පලව වැඩක්‌ පළක්‌ කරගැනීමට නොහැකි තත්ත්වයකට ජන්මියා පත්ව සිටීම. මරණයට ආසන්න තත්ත්වයෙන් සිටීම 04. ප්‍රයෝග විපත්තිය එනම් කිසිම හොඳක්‌ නරකක්‌ ගැන නොසිතා අධර්මිෂ්ඨ කටයුතු කිරීම යන තත්ත්වයයි. මෙයින් මෙම කරුණ වැදගත් වෙයි. යමෙක්‌ පව්කම් අත්හැර දැහැමිව ජීවත් වීම පිං ඉපදෙන ජීවිතයක සිටීම විශේෂයෙන් පංචශීලය රැකීම පිං ඉපදන ජීවිතයක්‌ වෙයි.
 
 සෙනසුරුගේ කරුණාව ලැබෙන්නේ පිං කරන පංචශීලය රකින යහපත් මිනිසාටය. ප්‍රාණ ගාත සොරකම වැරදි කාමය බොරු කීම මත්පැන් භාවිතය යන පස්‌පව කෙරෙහි සෙනසුරු ගෙන් කිසිදු සමාවක්‌ නැත. එය ප්‍රයෝග විපත්තිය ලෙස දැක්‌වෙයි. තව දුරටත් එය විග්‍රහ කරමින් ජී. එම්. ගුණපාල ශූරීන් ලියූ දශාඵල රහස්‌ නම් පොත මෙසේ පවසයි.
 
 සිතාමතා අනුන්ට කරදර කිරීම, හිමි නැති අන්සතු දේපල බලෙන් ලබා ගැනීම සිතා මතා අනුන් රැවටීම, අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කිරීම, අන් අයගේ අඹුවන් සමග අනාචාරයේ හැසිරීම, ගණිකා සේවනය, මිතුරන් රැවටීම, අල්ලස්‌ ගැනීම, අහිංසක අයට දඬුවම් කිරීම අනුන් මරණයට පත්කිරීම හා සහාය වීම වස විෂ දීම මවට හෝ පියාට නිගරු කිරීම ගුරුවරුන්ට හිරිහැර කිරීඹ හොරකම කර ගත් ණය ආපසු නොගෙවීම, බුදුන් දෙවියන්ට නිගරු කිරීම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය. එසේවූ වැරදි නොකරන මනුෂ්‍යයන්ට සෙනසුරු යහපත සලසයි.
 
 ඔක්‌. 26 ධනුරාශි ගත ශනි මේ අන්දමට තවත් කොන්දේසියක්‌ ඒ ආකාරයෙන් පනවයි. කුම්භ තුලා සහ කටක ලග්න හිමියන්ට 2020 දක්‌වා සෙනසුරුගෙන් යෙදෙන උසස්‌ සුබඵල පිළිබඳව සෘෂිවරුන් දක්‌වන්නේ මෙවන් අදහසකි. ශනි ස්‌වකීය ග්‍රහ චාරයෙන් යම් ලග්නයක 3 වන 11 වන හා 06 වන භාවස්‌ථානවල හැසිරෙන කාලවල මෙසේ සුබඵල අත්කරයි.
 
 කරන කියන රැකීරක්‍ෂා කටයුතුවල දියුණුව ඇති වීම, අළුතෙන් ආරම්භ කරන කටයුතුවල දියුණුව ඇතිවීම. හා දියුණුව පිsණිස විවිධ මාර්ග පෑදීම, ධනය ලැබීම, පැවතුන ලෙඩ දුක්‌ පහව යාම නිරෝගී බව ඇතිවීම, ඒ ඒ මට්‌ටම් අනුව තමන්ට නායකත්වය ලැබීම, මහත් ධන ලාබ පවා ඇතිවීම, සතුරු බල බිඳ වැටී තම බලය වර්ධනය වීම, උසස්‌ අය හා ඇසුර ලැබීම, ආදායම් වැඩිවීම හා පවුලේ දියුණු ඇතිවීම, සිතූ දේවල් පහසු අයුරින් සපල වීම, විශේෂ දියුණුවකට ලක්‌වීම, පතල් මැණික්‌ ඉඩකඩම් පොළොව ආශ්‍රිත ගල් පස්‌ වැලි පොළොව කණින යන්ත්‍ර සූත්‍ර පරණ යකඩ ගොවිතැන් ආදී කටයුතු වල මහත් ඵල ලබාදෙයි.
 
 යමෙකුට මේ කාලය තුළ එවැනි සුබඵල ලබා ගැනීමට නොහැකි වේ නම් මෙහි මුලින් සඳහන් කළ ආකාරයට අසුබ ග්‍රහ දශා ගෙවන අයටද මරණාසන්න තත්ත්වය හෝ එයට සමව මහත් සේ දුබලව සිටින අයටද පව් පිරෙන ජීවිතයක්‌ ගෙවන අය බොහෝ විට පංචශීලය බිඳින අයටද එසේ විය හැකිය. මේ තත්ත්වය ඕනෑම ලග්න හිමියෙකුටම වසර 30 කට පසු උදාවන මහත් විරල කාලයකි. එනිසා කුම්භ තුලා කටක ලග්න හිමියන්ට ඉහත කියූ පරිදි සඳු ග්‍රහ යා නොසිටියේ නම් බුද්ධිමත්ව 2020 දක්‌වා ප්‍රතිඵල නෙලා ගත යුතුය.
 
 එසේ බුද්ධිමත් වියයුතු ආකාරයක්‌ පහත පළ කරමි. එනම් පංචශීලය රැකගන්න. එසේම සෑම මාසයකට වරක්‌ කිනම් හෝ ඔබට පහසු දිනයක්‌ තෝරාගෙන එදින විහාරස්‌ථානයක හෝ වැඳුම් පිදුම් කරන බෝධියක්‌ වෙතට ගොස්‌ බුදුන් වහන්සේට හා මහරහතන් වහන්සේ ලා උදෙසා කිරිබත් පූජාවක්‌ තබන්න. එහිදී කිරිබත් පූජා කළ යුත්තේ ඔබේ ප්‍රඥව අනුවය. ඒ සඳහා ඔබට සිතේ කැමැත්තක්‌ සේම සතුටු සිතක්‌ නිතැතින්ම ඇති වෙයි. එයට ප්‍රඥවද එකතු කළ යුතුය.
 
 එවිට එම පුණ්‍යකර්මය සෝමනස්‌ස සහගත Cදාණ සම්ප්‍රයුක්‌ත අසංකාරික සිතකින් සිදුවූ ත්‍රිහේතුක පුණ්‍යකර්මයක්‌ වේ. Cදාණ සම්ප්‍රයුක්‌ත යනුවෙන් සඳහන් වන්නේ ඒ පිනේ ආනිසංශ ගැනත් එය පැවැත්වෙන ආකාරය ගැනත් අවබෝධය ලබා තිබීමය. දානයක ඵලය පිළිබඳව විස්‌තර වන දාන ඵල සූත්‍රයට අනුව මෙහි ආනිශංස දශකෝටි තුන්දහසකට අධිකය.
 
 එසේ දශකෝටි තුන්දහසකට අධික පිනෙහි පිරී ඇත්තේ ආයු වර්ණ සැප බල ප්‍රඥ යන කරුණු පහය. ආයු යනු දීර්ඝ ආයු කාලයකි. වර්ණ යනු අංග විකලනොවූ නිරෝගී බුද්ධිය සහිත කයක්‌ ලැබීමය. සැප යනු තමන් කැමැති දේ ලැබීමේ සැප සැලසීමය. බල යනු නිලබල මුදල් බල පිරිස්‌බල ලැබීමය. ප්‍රඥ යනු Cදාණය ලැබීමය. ඒවා ඊළඟ භවයන් සඳහා මුල්වන සුදුසුකම්ය.
 
 දානය පැවැත්වීම ගැන බුද්ධිමත් වීමේදී කිරිබත් ප්‍රමාණය පිළිබඳ සැලකිළිමත් වීමය. එනම් තමන්ට උදේ ආහාරය ප්‍රමාණාත්මක වන කිරිබත් ප්‍රමාණයම බුද්ධ පාත්‍රයට බෙදිය යුතුය. මහරහතන් වහන්සේලාගෙන් පාත්‍රයට බෙදිය යුතුය. එසේ කිරීමෙන් ඔබ අකාරවතී ශ්‍රද්ධාවෙන් දන් පූජා කළා වේ. කිරිබත් බිඳක්‌ පූජා කිරීමෙන් ලෝභ කම සහිත අමූලිකා ශ්‍රද්ධාවෙන් පූජා කිරීමෙන් ද්විහේතුක වී පුංචි පිනක්‌ බවට පත්වේ.
 
 මෙසේ අවබෝධයෙන් යුතුව මේ මම පූජා කරන්නේ සැබෑ ලෙස බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාටමයි කියා ශ්‍රද්ධා බුද්ධිය ඉස්‌මතු කරගත් සිතින් යුතුව පූජා කරන්න. එසේ පූජා කර නෙත් පියා වැඳගෙන නිහඬව සිතින් මෙසේ මෙනෙහි කරන්න.
 
 මා විසින් මේ උපදාවගත් පිං බලය දශ කෝටි තුන්දහසකට වඩා අධිකය. මේ දානමය පිං බලයේ ආනුභාවයෙන් මම කැමති දේ නොලබන දුක ඇති කරන යම්තාක්‌ මාගේ පව්බල අකර්මණ්‍ය වේවා යි මෙනෙහි කිරීම හෙවත් සත්‍ය ක්‍රියාව කරන්න. මේ වැඩපිළිවෙල සෙනසුරු මාරුව ඇතිවන 2020 දක්‌වාම දිගටම මසකට එකක්‌ බැගින් පවත්වාගෙන යන්න. එසේම ඒ දානයෙන් පසු ඊළඟ මාසයේ දිනය දක්‌වා සෑම දවසකම වාර කීපයක්‌ එම පුණ්‍ය ක්‍රියාව සිහි කරකර නැවත් ඒ සත්‍ය ක්‍රියාව කරන්න එවිට ඒ සෑම වාරයකම නැවතත් දශ කෝටි තුන්දහසකට අධික පිං බලය ආයි ආයිමත් උපදී. ඔබ දිනකට දෙවරක්‌ බැගින් දින 30 ක්‌ මේ පින මෙනෙහි කළානම් ඊළඟ පූජාව තබන දවස එනවිට ඔබ පිං බලය දශකෝටි තුන් දහසේ ප්‍රමාණය හැට ගුණයකින් වැඩිකර ගෙන තිබේ.
 
 එවැනි ආශ්චර්යයක්‌ දිගට කරමින් පංචශීලය තුළද සිටි කල්හි සෙනසුරු 30 වසරකට වරක්‌ ගෙන එන මේ සුබ කාලය ඔබට ආශ්චර්යමත් කාලයක්‌ බවට නිතැනින්ම පත්වේ. ඔබ මෙය තවතවත් දිගට පවත් වන විට වසර ගණන් දිගට පවත්වන විට ඒ පිං බලය හේතුකොට ගෙන මරණින් පසු දිව්‍ය සම්පත් ලැබීමටද මුල්වේ. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »