උදාවන සතියේ ඔබේ දෛවය

2017-11-27 11:32:00       1001
feature-top
මේෂ - 
 
 ලග්නාධිපති කුජ හයවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක වේ. අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා ඇති බව පෙනේ. දරුවෙකුට අපලයක්‌ පෙන්නුම් කරයි. ගෘහ ජීවිතය මිශ්‍රඵලදායක වේ. ආයෝජන කටයුතු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න. විවාහ සහකරුට එතරම් යහපත් නොවේ. අලුත් මිතුරන් හඳුනා ගැනීමට අවස්‌ථාව උදාවන අතර හිත මිතුරන් සමඟ සතුටින් කාලය ගතවේ. ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. ලිපි ලේඛන හා ශාස්‌ත්‍රීය කටයුතු කරන අයට සුබයි. තමන්ට වඩා උසස්‌ අය අමනාප වීමට ඉඩ ඇති නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. මේ අතර යටිබඩ ආශ්‍රිතව උෂ්ණාධික රෝග තත්ත්වයක්‌ ඇතිවිය හැකියි. 
 
 සුබ පාට - රෝස, සුබ අංකය - 03. 
 
 වෘෂභ - 
 
 ලග්නාධිපති සිකුරු සමඟ රවි හත්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය සුබ අසුබ මිශ්‍රඵලදායක බව පෙනේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට උනන්දු වන්න. ගෘහ ජීවිතය සතුටින් ගතවේ. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලබා ගැනීමට හැකිවේ. ජලාශ්‍රිත ව්‍යාපාර කටයුතු කරන අයට සුබදායක වේ. අන්‍යයන්ගේ සැලකිලි ලැබෙන කාලයකි. හිතවත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්‌ථාව උදාවේ. සමිති සමාගම් පිළිබඳ කටයුතුවලට සහභාගී වීමට යෙදෙයි. සේවක සේවිකාවන්ගේ සහයෝගය නොඅඩුව පවතින නිසා රැකියා හෝ ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. මේ අතර තැන්පත් මුදලක්‌ වැයවීමටද හේතුයි. බිරිඳ හෝ සැමියාට සුබයි. වාතාබාධ, සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකියි. 
 
 සුබ පාට - ලා මිශ්‍ර, සුබ අංකය - 06.
 
 මිථුන - 
 
 ලග්නාධිපති බුධ සමඟ ශනි හත්වැන්නේ ගමන් කරමින් උදාවන සතිය සුබදායක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ඉක්‌මන් කෝපය නිසා පවුලේ අය තුළ කළකිරීමක්‌ ඇතිවිය හැකිය. ඉවසීමෙන් කටයුතු කරන්න. විවාහ සහකරුට තරමක්‌ යහපත් වේ. ආගම දහමට සිත යොමු වේ. ආගමික කටයුත්තකට සහභාගි වීමට අවස්‌ථාව උදාවේ. ආයෝජනවලින් ලාභ ලැබේ. සතුරන් මිතුරුවීමටද ඉඩ තිබේ. සහෝදරයන්ට සුබදායක වේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. නීතිමය අංශවල හා උසස්‌ අයගේ උදව් ලැබේ. ණය මුදලක්‌ ලබා ගැනීමට තිබූ බලාපොරොත්තු සාර්ථක වේ. කේaතු දශා ගතකරන අය ශරීර පෝෂණය ගැන සැලකිලිsමත් වන්න. 
 
 සුබ පාට - ලා කොළ, සුබ අංකය - 04.
 
 කටක - 
 
 ලග්නාධිපති සඳු අටවැන්නේ ගමන් කිරීමෙන් උදාවන සතිය මිශ්‍රඵලදායක බව පෙනේ. සතිය ආරම්භයේදීම සිත් තැවුලක්‌ පෙන්වයි. සෙම් රෝග විශේෂයි. වතුරෙන් ප්‍රවේශම් වන්න. සති අග වන විට මේ කරදර බොහෝ දුරට මඟ හැරී යනවා ඇත. උත්සාහය ධෛර්යය වැඩි වේ. අසල්වාසීන් සමඟ පවතින අමනාප කම් දුරුවේ. ගෘහාශ්‍රිත කර්මාන්ත හෝ ව්‍යාපාර කරන අයට සුබයි. ගොවිතැන් සාර්ථක වේ. නිවසේ පුණ්‍ය කටයුත්තක්‌ පැවැත්වීමට සිදු වේ. ආගම දහමට සිත යොමු වේ. අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා ඇති වේ. දරුවන් වෙනුවෙන් තැන්පත් මුදලක්‌ වැය වේ. විවාහ අපේක්‌ෂිත අයටද අසතුටුදායක තත්ත්වයක්‌ ඇතිවිය හැක. වියදම් පාලනය කර ගන්න. 
 
 සුබ පාට - සුදු, සුබ අංකය - 2.
 
 සිංහ - 
 
 ලග්නාධිපති රවි සමඟ සිකුරු හතරවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක වේ. අධ්‍යාපන කටයුතුවලට සුබදායක වේ. ගෘහ ජීවිතය බොහෝ දුරට සුබඵලදායක වේ. නිවසේ අලුත්වැඩියාවක්‌ හෝ වෙනසක්‌ කිරීමට සිත යොමු වේ. පදිංචිය පිළිබඳ නීතිමය ගැටලුවක්‌ ඇතිවීමට ඉඩ තිබේ. නිවසේ උත්සවයක්‌ පැවැත්වීමට කරුණු යෙදේ. විදේශ ගමන් පිළිබඳ කටයුතු සාර්ථක වේ. වාහන ලාභ හිමිවේ. අසල්වාසීන් සමඟ සුහදතාව වර්ධනය වේ. ලිපි ලේඛන කටයුතුවලට සුබඵලදායකයි. ආගම දහමට සිත යොමු වේ. එහෙත් සති අන්තය වන විට ශරීර සනීපයට බාධා පැමිණිය හැකියි. උදරාබාධ, සිත්තැවුල්, රැකියා අංශවල බලාපොරොත්තු නොවූ ගැටලුවක්‌ ඇති වීමට ඉඩ තිබේ. වතුරෙන් අපලයි. සවසට, රාත්‍රියට නෑම, පිනිs බෑම ආදියෙන් ඈත්වන්න. 
 
 සුබ පාට - සුදු, සුබ අංකය - 01.
 
 කන්‍යා - 
 
 ලග්නාධිපති බුධ සමඟ ශනි හතරවැන්නේ ගමන් කරමින් උදාවන සතිය සුබදායක වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. චිත්ත ධෛර්යය වැඩි වේ. ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. අසල්වැසියන් සමඟ සුහදතාව ඇතිවේ. සහෝදරයන්ට සුබයි. ලිපි ලේඛන හා ශාස්‌ත්‍රීය කටයුතු වලට සුබදායක වේ. කලාත්මක නිර්මාණශීලි හැකියාවන් වර්ධනය වේ. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග උදාවේ. දේශීය හා විදේශීය ව්‍යාපාර මගින් ආදායම් යහපත් වේ. ගෘහ ජීවිත ගතකරන අය ඉක්‌මන් කෝපය නිසා ඇතිවන ගැටලු පාලනය කර ගැනීමට ඉවසීමෙන් කටයුතු කරන්න. රැකියා හා ව්‍යාපාර අංශවල උසස්‌ වීම් ලැබීමට හේතුයි. මිතුරු මිතුරියන් ඇසුරු කිරීමේදී ප්‍රවේශම් වන්න. 
 
 සුබ පාට - ලා කොළ, සුබ අංකය - 04.
 
 තුලා - 
 
 ලග්නාධිපති සිකුරු සමඟ රවි දෙවැන්නේ ගමන් කරමින් උදාවන සතිය මිශ්‍රඵලදායක වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ගෘහ ජීවිතය පිළිබඳව සැලකිලිමත් වන්න. තනතුරු හෝ තත්ත්වයේ උසස්‌වීමකට හෝ රැකියා අපේක්‌ෂා කරන අයට රැකියා ලාභ ලැබීමට ඉඩ තිබේ. අසල්වාසීන් සමඟ පවතින සුහදතාව වර්ධනය වේ. උත්සාහයෙන් කටයුතු කිරීමට සිත යොමු වේ. ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. බිරිඳ හෝ සැමියාගේ විදේශ ගමන් සාර්ථක වේ. මංගල යෝජනාවලට සුබ නැත. එවැනි කටයුතු තරමක්‌ කල් දැමීම සුදුසු වේ. දරුවන්ට සුබඵල දායකයි. 
 
 සුබ පාට - මිශ්‍ර ලා.
 
 වෘශ්චික - 
 
 ලග්නාධිපති කුජ සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන සතිය සුබදායක වේ. අධ්‍යාපන කටයුතුවලට මිශ්‍රඵලදායක බව පෙනේ. උත්සාහවන්තව හා ධෛර්යමත්ව කටයුතු කර ජයග්‍රහණ අත්පත් කරගැනීමට ඉඩ ලැබේ. රැකී රක්‌ෂා කටයුතු දියුණු වේ. උසස්‌ වේ. තම නායකත්ව ගුණාංග ඉස්‌මතු වීම නිසා අන් අය අතර ප්‍රධානත්වයක්‌ ඇති වේ. වියදම් ඉහළ යන බැවින් ආර්ථික දුෂ්කරතා මතුවීමට ඉඩ තිබේ. ගෘහ ජීවිතය සතුටින් ගත කිරීමට ලැබේ. ජල සම්පාදන කටයුතුවලට සුබයි. දරුවන් ගැන සැලකිලිමත් වන්න. මුදල් ආයෝජනය කරන විට දුරදිග බලා කටයුතු කරන්න. ශාරීරික සෞඛ්‍ය පිළිබඳවද විශේෂ අවධානයක්‌ අවශ්‍ය වේ. 
 
 සුබ පාට - සුදු, සුබ අංකය - 02.
 
 ධනු - 
 
 ලග්නාධිපති ගුරු සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන සතිය මිශ්‍රඵලදායක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. තමන්ට වඩා උසස්‌ අය සමඟ කටයුතු කරන විට ප්‍රවේශම් වන්න. මේ අතර රැකියා හෝ ව්‍යාපාර අංශවල උසස්‌ අයෙකු අමනාප වීමට ඉඩ තිබේ. ව්‍යාපාරිකයන්ට බලාපොරොත්තු වූ ආදායම් නොලැබී යැමටද ඉඩ තිබේ. ගෘහ ජීවිතය සතුටින් ගතවේ. මව්පියන්ට සුබදායක වේ. විදේශ ගමන් සාර්ථක වේ. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග උදා වේ. රාහු දශා ගතකරන අයට සිතේ චංචල බව උදරාබාධ හා හිසේ රෝග පවතී. 
 
 සුබ පාට - කහ, සුබ අංකය - 05.
 
 මකර - 
 
 ලග්නාධිපති ශනි සමඟ බුධ දොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන සතිය සුබදායක වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දරුවන්ගේ දියුණුව දැක සතුටු විය හැක. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. හිතේ සතුට ඇති වේ. ආදායම් යහපත් වේ. අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට ඉඩ ලැබේ. හිතවතුන් සමඟ සතුටින් කාලය ගතවේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. සමාජ සේවා කටයුතුවලට වැඩියෙන් යොමු වන සතියකි. රැකියා බලාපොරොත්තු සාර්ථක කරගත හැකි වේ. උසස්‌ අයගේ උදව් උපකාර ලැබේ. තනතුරේ හා තත්ත්වයේ උසස්‌වීම්වලටද ඉඩ තිබේ. විදේශ ගමන් වලට තරමක බාධා පවතී. 
 
 සුබ පාට - නිල්, සුබ අංකය - 07.
 
 කුම්භ - 
 
 ලග්නාධිපති සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌ වැන්නේ ගමන් කරමින් උදාවන සතිය සුබදායක බව පෙනේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. උසස්‌ අධ්‍යාපන කටයුතුවලටද සුභ වේ. නිවසේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. කාරුණික භාවය නිසා අන් අය අතර පිළිගැනීමක්‌ ඇතිවේ. වාහන ගනුදෙනුවලට සුබයි. රැකී රක්‌ෂා ස්‌ථානයේ කටයුතු ඉතා යහපත්ව සිදු වේ. වැඩි වැටුප් හිමි වීමට ඉඩ තිබේ. සමාජ ගෞරව සැලකිලි හා කීර්ති ප්‍රශංසා ලැබේ. ආගමික කටයුත්තකට සහභාගි වීමට සිදුවේ. විදේශ ගමන් හෝ වන්දනා ගමන් යෙදේ. මෙම සතිය තුළ සේවක සේවිකාවන්ගේ සහයෝගය නොඅඩුව ලැබෙන නිසා රැකියා අංශවල සාර්ථක බවක්‌ පෙන්වයි. හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වන්න. 
 
 සුබ පාට - නිල්, සුබ අංකය - 07.
 
 මීන - 
 
 ලග්නාධිපති ගුරු අට වැන්නේ ගමන් කරමින් මෙම සතිය උදාවෙයි. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හිතේ නොසන්සුන් බව නිසා අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා පෙන්වයි. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරන විට දුරදිග බලා කටයුතු කරන්න. සතිය මැද වන විට තරමක්‌ සුබදායක තත්වයක්‌ ඇති වේ. රැකියා හා ව්‍යාපාර අංශවල කටයුතුවලට සේවක පක්‌ෂයේ සහයෝගය ලැබේ. රහස්‌ සතුරු කරදර ගැන සැලකිලිමත් වන්න. දුර වන්දනා ගමන් යැමට අවස්‌ථාව උදා වේ. වැදගත් තීරණ ගන්නා විට එA පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න. මේ අතර ගුරු දශා ගතකරන අය දියවැඩියාව හා කොලෙස්‌ටරෝල් වැනි රෝගවලින් ප්‍රවේශම් වන්න. 
 
 සුබ පාට - කහ, තැඹිලි, සුබ අංකය - 02.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »