ජනවාරි -මාර්තු අතර පින්වත් දරු උපත් රැසක්‌ - කුම්භ, සිංහ, වෘශ්චික හා වෘෂභ යන ලග්නවලින්

2018-02-03 11:30:00       223
feature-top
ග්‍රහලොව සෙන්පති හෙවත් චණ්‌ඩියා නැතහොත් සහෝදර කාරක, පුරුෂ කාරක ග්‍රහ තාරකාව වන කුජ හෙවත් අඟහරු ග්‍රහයා පසුගිය 2018 ජනවාරි මස 17 වැනි බදාදා දින පෙ.ව. 05.12 ට මෙතෙක්‌ කල් රැඳී සිටි සිකුරු හිමි තුලා රාශියේ සිට කුජටම අයත් තම ස්‌වක්‌ෂෙත්‍ර රාශිය වන වෘශ්චික රැසට ගෝචර විය. වෘශ්චිකය අඟහරුට සිය ස්‌වක්‌ෂේත්‍ර රාශිය වන අතර ඒ අනුව කුජ ග්‍රහයා එතැන් සිට එළැඹෙන 2018 මාර්තු 07 වැනිදා ප.ව. 6.30 දක්‌වා ම මාස දෙකකට ආසන්න කාලයක්‌ වෘශ්චික රාශිය තුළ සිය ස්‌වක්‌ෂේත්‍ර ග්‍රහ චලිතය පවත්වා ගනු ඇත. ඒ අනුව මෙම කාලසීමාව තුළ කුජ ග්‍රහයා ජන්ම පත්‍රයේ 1, 4, 7, 10 යන කේන්ද්‍රස්‌ථානවල බලවත් වීමෙන් උදාවන පංච මහා පුරුෂ යෝග අතරින් බලවත් යෝගයක්‌ වන රුචක නම් පංච මහා පුරුෂ යෝගය උදාවනු ඇත. වෘෂභ, සිංහ, වෘශ්චික හා කුම්භ යන ලග්න 4 ට හා මෙම කාලය තුළ ඉන් ජන්ම ලාභය ලබන දරුවන්ට ඉතා සුභ ප්‍රතිඵල උදාවෙයි. වෘශ්චික ලග්නයේ දී ලග්න ගතවන කුජ, කුම්භයේ දික්‌බලව ලග්නයෙන් 10 වැන්නටත්, වෘෂභයේ 7 වැන්නටත්, සිංහයේ 4 වැන්නටත් ගෝචර වනු ඇත.
 
 ඒ අනුව එළැඹෙන මාර්තු 07 දක්‌වා කුම්භ, සිංහ, වෘශ්චික හා වෘෂභ යන ලග්නවලින් උපදින දූ දරුවන් ඉතාම පින්වත් හා බුද්ධිමත් මෙන්ම බලවත් හා එඩිතර වූ අනාගත දේශපාලන ක්‌ෂෙත්‍රයේ හා සමාජයේ මෙන්ම ආරක්‌ෂක අංශවල කැපී පෙනෙන සුවිශේෂ චරිත වනු නොඅනුමානය. එම දරුවන් සෘජු අදහස්‌ ඇත්තා වූ යහපත් පුද්ගලයන් වනු ඇත. මෙම කාලය දරු උපත් සඳහා අති ප්‍රබල පංච මහා පුරුෂ යෝගයක්‌ සහිතව උදාවන අතර මාර්තු මාසයේ මුල් භාගය දක්‌වාම ඉතාම සුබදායක වනු ඇත. සුබ යෝග ඇතුළු තවත් ග්‍රහ යෝග කීපයක්‌ මෙම කාලය තුළ උදාවනු ඇත. 
 
 නමුත් ඉහත කාලය තුළ රටේ මහජනතාවට යම් යම් අපහසුතා හා දේශගුණ විපර්යාස ඇතිවීමටත් කාන්තාවන්ට යම් අපහසුතා ඇතිවීමටත් හැකියාව පවතී. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »