මැතිවරණ ප්‍රතිඵල ජ්‍යොතිෂයෙන් කල්තියා දැනගන්න බැරිද?

2018-02-10 11:06:00       50
feature-top
මේ එළඹ ඇත්තේ මැතිවරණ සමයකි. මෙවැනි ඡන්දවලදී විශේෂයෙන් සමාජ කරලියට පැමිණෙන පුද්ගලයෝ වර්ග කිහිපයක් වෙති. ඔවුන් අතුරින් මැතිවරණ අනාවැකි කීමට කල එළි බසින ‍ජ්‍යොතිෂවේදීන්ට අප සමාජයෙන් විශේෂ ආකර්ෂණයක් හිමි වෙයි.

රූපවාහිනී රියැලිටි වැඩසටහන් මගින් 'තරු' බිහි කිරීම මේ දිනවල ශීඝ්‍රාකාරයෙන් සිදුවෙමින් තිබේ. රියැලිටි වැඩසටහන් මගින් නොවුණත් ජනමාධ්‍ය මගින් දොරට වඩමවන '‍ජ්‍යොතිෂ තරු' කිහිපයක්  මේ රටේ සිටිති. ඉතා තරඟකාරී මට්ටමින් එකිනෙකා පරයමින් අසන්නවුන්ගේ ලොමු දැහැ ගැන්වෙන අන්දමේ අනාවැකි කීම නිසා ඔවුහු එලෙස ජනකාන්ත බවට ද, තරු බවටද එසේ නැතහොත් නවීන ග්‍රාම්‍ය ව්‍යවහාරයට අනුව කිවහොත් '‍පොරවල්' බවටද පත්ව හිඳිති.

මොණර නැටුම් බැලීමට අපි කවුරුත් කැමැත්තෙමු. සුවිසල් නීල වර්ණ අවානක් සේ පිල් විහිදුවා නටන මොණර නැටුම අතිශය දැකුම්කළුය. එහෙත්, ඒ සුන්දරත්වය ඇත්තේ  ඉදිරිපසින් බලන විට පමණි. එම මොණර නැටුම පිටුපසින් සිට නරඹන්නකු හට එම අලංකාරය වෙනුවට දැකගත හැක්කේ බාහිරව විවෘතව පවතින මොණරාගේ අධෝ මුඛයයි. සාමාන්‍ය ජන සමාජයට විසිතුරු මොණර නැටුමක් සේ පෙනෙන මෙම ජනකාන්ත ‍ජ්‍යොතිෂ තරු පවසන අනාවැකි සම්බන්ධයෙන් කීමට ඇත්තේ ද ඒ ටිකමය. ඊට හේතුව ‍ජ්‍යොතිෂය පිළිබඳ සෛද්ධාන්තික පසුබිම හදාරා ඇති ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ එම අනාවැකි තුළ පවතින ශාස්ත්‍රීය නිර්වස්ත්‍ර භාවය මැනවින් පෙනී යාමය.

2015වසරේ පැවැති ජනාධිපතිවරණය ‍ජ්‍යොතීර්වේදයේ නාමයෙන් රඟ දැක්වුණු මොණර නැටුම් රැසක් එක්වර  සමාජ කරලියට පැමිණි අවස්ථාවකි. මේ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා බලයට නාවොත්  ඔබ මොකද   කරන්නේ? සිරස රූපවාහිනී සජීවී වැඩසටහනකට සම්බන්ධවූ එවන් මොණර කුලයේ ‍ජ්‍යොතීර්වේදියෙකුගෙන් මාධ්‍යවේදී කිංස්ලි රත්නායක ඇසීය. එවිට ගත් මොහු ගත්කටටම කීවේ 'මම මෙතැනට ඇවිත් වෙඩි තියා ගන්නවා' යනුවෙනි. කෙසේ හෝ එම ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදවා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවිය භාර ගැනීමෙන් පසු ඔබ එදින ප්‍රසිද්ධියේ ‍පොරොන්දු වූ පරිදි වෙඩි තබා නොගත්තේ ඇයි?යනුවෙන් මාධ්‍යවේදියෙකු එම ඊනියා ‍ජ්‍යොතීර්වේදියාගෙන් ප්‍රශ්න කළේය. එවිට ඔහු දී ඇත්තේ මෙබඳු රසාලිප්ත පිළිතුරකි. 'මං වෙඩි තියාගත්තම දරුවව ඉස්කෝලෙ ගෙනියන්නේ කවුද?'

කිසියම් මැතිවරණයක් ජයග්‍රහණය කරන පක්ෂය හෝ පුද්ගලයා ‍ජ්‍යොතිෂය මගින් කල් ඇතිව හඳුනාගත හැකිද?ඒ සම්බන්ධයෙන් 'කණා පල්ලම් ගැසීමකින්' හැරුණු කොට එවන් අනාවැකියක් කීමේ කිසිදු හැකියාවක් ‍ජ්‍යොතිෂය සතුව නොමැති බව සහතිකය.

 සමුද්‍ර යාත්‍රිකයන්ට ප්‍රදීපාගාර උපකාරී වන්නේ යම් සේද ‍ජ්‍යොතීර්වේදීන් හට එලෙසින්ම උපකාර ලබාගත හැකි ‍ජ්‍යොතීර් ශාස්ත්‍ර සංග්‍රහ විශේෂයක් තිබේ. ඒවා හැඳින්වෙනුයේ 'පංචාංග ලිත්' යනුවෙනි. එම ලිත් අතරින් දැනට අප රටේ ග්‍රහස්පුට පංචාංග ලිතට හිමිවනුයේ මුල් තැනකි. එමෙන්ම එම පංචාංග ලිත් සංස්කරණය කරනුයේ සෛද්ධාන්තික ‍ජ්‍යොතීර්වේදය පිළිබඳ  ප්‍රාමාණික දැනුම් සහිත විද්වතුන් විසිනි. ග්‍රහස්පුට පංචාංග ලිතේ සංස්කාරක වරුන්ව සිටි එස්.ඩබ්ලියු කරුණාරත්න සහ ඇම්.කේ රොහාන් සිසිර කුමාර යන විද්වතුන් විසින් 'හඳහන් බැලීමේ ගුරු මුෂ්ටි' නම් ‍ජ්‍යොතිෂ ග්‍රන්ථයක් රචනා කොට තිබේ. එය ‍ජ්‍යොතිෂයට අත්පොත් තබන නවකයන් හට ඒ සම්බන්ධ වැදගත් ගුරු හරුකම් රැසක් ලබා දෙන කෘතියකි. එම කෘතියෙහි දෙවන කාණ්ඩයේ පෙරවදනේම මෙවන් සඳහනක් තිබේ.

.... "මේ ශාස්ත්‍රය අනුව අකුරක් අකුරක් පාසා ඉලක්කමක් ඉලක්කමක් පාසා හරියටම හරියන ආකාරයට සියල්ලම කිරි ගහට ඇන්නා වගේ කීමට කිසිවකුටත් නොපුළුවන. එසේ කිව හැකි ස්ථිර නිවැරදි ශාස්ත්‍ර නීති ද මෙහි නැත. කල්ප ගණනක් පෙනෙන කුශාග්‍ර බුද්ධිමත් සෘෂිවරුන් විසින් රචනා කර තිබෙන සූර්ය සිද්ධාන්ත, බ්‍රහ්ම සිද්ධාන්ත ආදී මූලික ‍ජ්‍යොතිෂ ග්‍රන්ථවල පවා ග්‍රහ ගමන් ආදිය පිළිබඳ එකිනෙකට වෙනස් ගණිත චක්‍ර පෙන්වා තිබේ. ඒ ස්ථිර තැනම සොයා ගැනීමට නොහැකි නිසා තමන්ගේ ඥානයට පෙනෙන එයට ඉතා ආසන්න ගණන බව දත යුතුය.

මෙයින් අපට සිතන්නට තිබෙන්නේ සමහර විට මේ ශාස්ත්‍රය සියයට සියයක්ම සත්‍ය සිද්ධාන්ත ක්‍රම මතම ගොඩනැගූ විද්‍යාවක් නොවන බවත් එම ශාස්ත්‍රීය ක්‍රමවත් හරි හැටි ඉගෙන ගත් ‍ජ්‍යොතිෂ ශාස්ත්‍රඥවරුන් ලොව පහළවී නැති බවත්ය. "

ජනමාධ්‍ය මගින් මොණර රැඟුම් පා තම පශ්චාත් භාගය සමාජ කරලිය හමුවේ එළිදැක්වීමෙන් පසුව මේ දිනවල මුලුගැන්වී සිටින රාජකීය ‍ජ්‍යොතීර්වේදීන් වශයෙන් පවා මාධ්‍ය මගින් හඳුන්වනු ලැබූ රාජකීය කට්ටයන්  සහ වෙට්ටපිත්තලයන් කිහිප දෙනෙකි. නමුත්  ඔවුන් තම ලජ්ජා බය අතහැර ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින්ද ‍ජ්‍යොතිෂ අනාවැකි මගින් මොණර රැඟුම් පෑමේ යම් හැකියාවක් තිබේ.

 එහෙත් එවන් තොරොම්බල් කාරයන් හැරුණු කොට ‍ජ්‍යොතිෂය ආදී වෛදික ශාස්ත්‍රයන් පිළිබඳව ගැඹුරටම හැදෑරූ පඬිවරුන් ද අප රටේ සිටි හා සිටින බව තවමත් බොහෝ දෙනෙක් නොදනිති. පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය දර්ශන අංශයේ මහාචාර්ය පදවිය හොබවා දැනට මෙලොවින් සදහටම සමුගත් ගුණපාල ධර්මසිරි විද්වතාණන් එවන් ‍ජ්‍යොතීර් ආයුර්වේද ආදී ප්‍රාචීණ විෂයන් පිළිබඳ හදාරා තිබූ පඬිරුවනකි.

‍ජ්‍යොතිෂය සම්බන්ධයෙන් මා තුළ පවත්නා ආකල්පය කෙසේ වුවත් මානව ශාස්ත්‍රඥයකු වශයෙන් මගේ ගෞරවාදරයට ලක්ව සිටි මෙම පඬිවරයා මට මුල්වරට මුණගැසුණේ 2002වසරේ දිනයෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ කාර්යාලයේදීය. එහිදී ඔහු කේන්ද්‍ර බැලීම සම්බන්ධයෙන් කළ මෙම ශාස්ත්‍රීය විග්‍රහය අදටත් මගේ මතකයේ තදින්ම රැඳී පවතී.

 "යමෙක් උපදින දිනය, වෙලාව, ස්ථානය මුල්කරගෙන ජන්ම පත්‍රයක් සකස් වුණත් ඒක මූලික වශයෙන් ඒ පුද්ගලයාගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, විවාහ වුණාට පස්සේ බිරිඳ, දරුවන් මේ හැමෝගෙම ග්‍රහචාර එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම තමන් ජීවත් වෙන භූගෝලීය, දේශගුණික, සමාජ, ආර්ථික, සංස්කෘතික මේ හැමදෙයක්මත් එකිනෙකට සම්බන්ධ වෙනවා. උදාහරණයක් ගත්තොත් රාජ යෝගයක් එක්ක මෙලොව එළිය දකින පුද්ගලයා වටා ඒකරාශී වන මේ වගේ තුලනාත්මක පසුබිම් කරුණු මුල්කරගෙන ඒ පුද්ගලයාට රටක, පළාතක, ගමක හරි නායකත්වයක් හම්බු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පුද්ගලයාට අනිත් හැමෝටම යටත්, යාචක, ජීවිතයක් අත් වෙන්නත් පුළුවන්. එහෙම තමයි සෛද්ධාන්තික ‍ජ්‍යෝතීර්වේදයේ හැඳින්වෙන්නේ,"මහාචාර්ය ගුණපාල ධර්මසිරි විසින් එදා කළ ඒ ඓතිහාසික ප්‍රකාශය 2015මැයි 08දා සිදුවූ ඔහුගේ අභාවයෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සහ ආචාර්ය ප්‍රජාව විසින් එළිදක්වන ලද 'ගුණපාල ධර්මසිරි - ජීවිතය සහ දර්ශනය' නම් ශාස්ත්‍රීය ලිපි කළඹට  එක් කිරීමට මට  හැකිවිය. එමෙන්ම වත්මන් මාධ්‍ය කරලියේ රැඟුම්පාන තරු ගණයේ ඊනියා තොරොම්බල්කාර ‍ජ්‍යොතිෂ මොණරුන්ගේ පශ්චාත් භාගය දැකීමෙන් හටගන්නා අප්‍රසාදය සහ පිළිකුල මැඩගැනීමේ කැමැත්තෙන් සිටින්නවුන්ගේ මනදොළ සපුරාලනු පිණිස හඳහන් විශ්වාස නොකළ ‍ජ්‍යොතිෂ පඬිවරයා නම් වන එම පරිච්ජේදය මා විසින් සම්පාදනය කරන ලදුව පසුගිය දා එළිදැක්වුණු 'මනරංජන මිථ්‍යා කතා කෘතියේ යාවත්කාලීන සංස්කරණයටද එක් කළෙමි.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »