හතර කේන්දරේ පාළුවුවත් බිය නොවන්න

2018-07-26 11:23:00       683
feature-top
ජ්‍යෝතිෂ ශාස්‌ත්‍රයේ එන විවිධ වූ මති මතාන්තර බොහෝ විට එකී ශාස්‌ත්‍රය පිළිබඳ කිසිදු දැනුමක්‌ නැති පිරිස්‌ හරයක්‌ නොමැතිව කියන්නන් වාලේ කියන ඒවා වීම තුළ ඒවා අසන පිරිස්‌ නොමඟ යන අවස්‌ථා බහුලව දක්‌නට ඇත.

හතර කේන්දරය පාළු වීමද එවැනිම වූ සිද්ධාන්තයකි. හතර කේන්දරය යනු ඕනෑම ඡන්ම පත්‍රයක 1, 4, 7, 10 යන භාවයන් (කොටු) තුළ කිසිදු ග්‍රහයකු තැන්පත් නොවීම වේ. එවැනි කේන්ද්‍රයක්‌ දුටු සැණින් ජ්‍යෝතිර්වේදීන් නොවන පිරිස්‌ එය අසුබ පිහිටීමක්‌ ලෙසද මහණ යෝගයක්‌ එසේත් නැතිනම් විවාහයක්‌ අහිමි කේන්ද්‍රයක්‌ ලෙසද හැඳින්වීමට පෙළඹී සිටිති.

කේන්ද්‍රයක පළමුවන භාවයෙන් කේන්ද්‍රය ආත්ම ශක්‌තිය පෞරුෂත්වය ගති පැවතුම්ද හතර වැනි භාවයෙන් ගතිගුණ සිතුම් පැතුම් හා ගේ දොර ඉඩ කඩම් ගැනද හත්වැනි භාවයෙන් ව්‍යාපාර ආයුෂ විවාහය සහ සහකරු සහකාරිය පිළිබඳවද දහය වැනි භාවයෙන් රැකියාව තනතුරු ක්‍රියාකාරිත්වය හා ප්‍රසිද්ධිය පිළිබඳවද කියෑවේ.

එහෙත් එම භාවයන් තුළ කිසිදු ග්‍රහයකු තැන්පත් නොවීම තුළ එවැනි අය අවාසනාවන්ත ලෙස හෝ අසාර්ථක පුද්ගලයන් ලෙස හැඳින්වීම ඉතාමත් අනුවණ ක්‍රියාවකි.

එයට හේතුව නම් අප මේ කතා කරන 1, 4, 7, 10 හෙවත් හතර කේන්ද්‍රය තුළ කිසිදු ග්‍රහයකු තැන්පත්ව නැතත් යහපත් විවාහ ජීවිත ගත කරමින්, සමාජයේ උසස්‌ නිලතල දරමින් ව්‍යාපාර අංශයන්හි හිනිපෙත්තට නැඟ මහණ යෝගවලට කොටු නොවී ඉතාමත් සාර්ථක ප්‍රීතිමත් ජීවිත ගත කරන අය අප අතර සිටින නිසාය.

ඕනෑම කෙනෙකුගේ ජන්මපත්‍රයක්‌ විග්‍රහ කිරීමේදී එහි ඇති කොටු දොළහම සැලකිල්ලට ගත යුතු අතර 1, 4, 7, 10 යන භාවයන් පාලු වුවද එහි දෝෂ බිඳදමන අනෙකුත් ග්‍රහ පිහිටීම් ගැන සැලකිලිමත් නොවී කෙනෙකු අනාවැකි පවසන්නේ නම් එය ඉතාමත් වැරදි ක්‍රියාවකි.

විශේෂයෙන්ම කේන්ද්‍රයක 3, 5, 9, 11 ස්‌ථානවල සිටින ග්‍රහයන්ගේ සුබ පිහිටීම මත හතර කේන්ද්‍රයේ පාළුවීම නැමැති යෝගයට ඉතාමත් සාර්ථක පිළිතුරු එහි කේන්ද්‍රයෙන්ම ලැබෙනු ඇත.

එබැවින් කිසිදු අවස්‌ථාවක කිසිදු ජන්මියකුගේ ජන්ම පත්‍රයක 1, 4, 7, 10 හෙවත් හතර කේන්ද්‍රය තුළ ග්‍රහයන් නොපිහිටීම තුළ ඔහු හෝ ඇය සසුනට ඇතුළත් විය යුතු කරන කියන දේ සාර්ථක නොවන විවාහ දිවියක්‌ අහිමි සමාජයේ පිළිකුලට ලක්‌ වී නොහිටිය යුතු මෙන්ම සැඟවී ජීවත් විය යුතු චරිතයක්‌ නොවන බව ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරමු. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »