සුබ කටයුතුවලට නැකත මෙන්ම දිසාවද සුබ වියයුතුයි

2018-11-07 11:46:00       110
feature-top
යම්කිසි කාර්යයක් සඳහා යම් පුද්ගලයකුට සාදනු ලබන සුබ මුහුර්තියට නැතිනම් නැකතට අනුව දිසාව නිර්ණය කිරීමේදී විවිධ සාධකයන් ජ්‍යොතිෂයට අනුව යොදා ගනී. ඒ අනුව සුබ මුහුර්තය යෙදෙන දිනයේ යෙදෙන වේලාවට උදාවන තත්කාල ලග්නය. යෝගිනි සිටින දිශාව මරු සිටින දිශාව, මරු සුලම, පරිස දණ්ඩය යන ආදී අසුබ දිසාවන් හසු නොවන ආකාරයට දිසාව නිර්ණය කළ යුතුයි. එසේම සුබ මුහුර්තිය උදාවන දිනයට නියමිත පැත්තක් ඇති බව ද සියලූ දෛවඥයන් දැන සිටිය යුතුයි. තමා විසින් සාදන නැකත ජ්‍යොතිෂ රීතීන්වලට අනුව නිවැරදිව සාදා දීමෙන් සේවාදායකයන්ගේ විශ්වාසයත් ශාස්ත‍්‍ර ගෞරවයත් ඔබගේ දියුණුවත් එකසේ ඇතිවෙයි.
 
 සුබ මුහුර්තිය යොදාගත් දින රාශි අනු සුබ දිසාව නිර්ණය වන්නේ මෙසේය. සිංහ, ධනු, මේෂ ලග්න නම් පූර්ව දිසාවද, කුම්භ, තුලා. මිථුන ලග්න නම් අපර දිසාවද කටක, වෘශ්චික, මීන ලග්න නම් උත්තර දිසාවද වෘෂභ, කන්‍යා, මකර ලග්න නම් දක්‍ෂිණ දිසාවද වශයෙන් යෙදිය යුතු බව ජ්‍යොතිෂයේ සඳහන් වේ.
 
 නමුත් ලග්නයට අනුව යෙදෙන දිසාවේ මරු සිටිය හැකිය. එවැනි අවස්ථාවක එම දිසාවේ ප‍්‍රතිවිරුද්ධ දිසාව යොදාගත යුතුයි. නිදර්ශනයක් ලෙස යෙදුන තත්කාල ලග්නයට අනුව දක්‍ෂිිණ දිසාව බැලීමට සිදුවූයේ යැයි අපි සිතමු. එවැනි අවස්ථාවල ඊට විරුද්ධ දිසාව යොදාගත යුතුයි. මන්දයත් ජ්‍යොතිෂයට අනුව මරුට පිටුපා සියලූ සුබ කටයුතු ඇරඹීම අනිවාර්ය වේ.
 
 ජ්‍යොතිෂයට අනුව මරු සිටින දිසා මෙසේය. රිවි දින උතුරු - සඳු දින වයඹ - කුජ දින අපරදිග, බුධ දින නිරිත, ගුරු දින දකුණ, ශුක‍්‍ර දින ගිනිකොණ, ශනි දින පෙරදිග වශයෙනි. මේ දිසාවන්ට අනුව සුබ දිසාව ගත්විට යෝගිනි සිටී නම් එයද මගහැරිය යුතුයි.
 
 නැකතකදී මරු සිටින දිසාව මෙසේ සඳහන් වුවත් ඔබ රෝගියකුට යම් දෙයක් කරන අවස්ථාවක ශරීරයේ මරු සිටින ස්ථානය ඔබ දැනගෙන සිටිය යුතුයි. එසේ නොවුවහොත් එම රෝගියා මිය යා හැකියි. ඉහත මරු යෝගිනි යන දෝෂ මගහරින විට පරිස දෝෂය හසුවන්නේ නම් එයත් මගහැරී යන ලෙස සුබ දිසාව ගත යුතුයි.
 
 ඇතැම් අය අපර දිසාවට සුබ දිසාව වශයෙන් යෙදෙන නැකැත්වලට බියක් දැක්වුවත් ජ්‍යොතිෂය නියමයන්ට අනුව අපර දිසාව සුබ දිසාවක් බවත් එයින් සුබඵල ලැබිය හැකි බවත් සඳහන් කරමි. මේ අනුව මුහුර්තවලට අනුව නිවැරැුදිව දිසාව යොදාගෙන ඔබ ආරම්භ කරන සුබ වැඩකටයුතුවලින් සාර්ථක පල නෙලාගන්න.
 
 
 ජ්‍යොතිෂවේදී - රංජන් සිසිර කුමාර
 සටහන - ධම්මික හේවාවසම්


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »