සතර කේන්ද්‍රය පළුවීම ලෙස හදුන්වන කේමදෘම යෝගය හිතන තරම් භයානක නෑ....

2019-04-25 12:07:00       686
feature-top
ජනවහරේ සතර කේන්ද්‍රය පාළු වීම, ජ්‍යොතිෂයේ කේමදෘම යෝගය වශයෙන් හඳුන්වනු ලබනවා. කේන්ද්‍රයක එක/හතර/හත/දහය යන ස්ථාන සතර කේන්ද්‍රයට අදාළ ස්ථාන වශයෙන් හඳුන්වනු ලබන අතර, පළමුවැන්න හෙවත් ලග්නස්ථානය ජන්මියගේ ශරීරය, පෞර්ෂත්වය, අඟ පසඟ, කල් ක‍්‍රියාව, උස් පහත් බව, සෘජු බව, චපල බව නිරූපණය කරන අතර, සිව්වැන්නෙන් මව්පියන්ගෙන් ලැබෙන දේපළ, යාන වාහන, ඉඩ කඩම්, ගෙවල් දොරවල්, සුරැුකි දේපළ, මව්පස නෑයින්, සාමාන්‍ය ඉගෙනුම පිළිබඳවද දනවන අතරම, හත් වැන්නෙන් විවාහය, රැුකි රක්ෂා, වෙළඳාම, ධන හානි, මහජන ප‍්‍රසාදය ආදී තත්ත්වයන්ද ඉස්මතු කරනු ඇත. වෘත්තිය, දියුණු වීමේ ආශාව, ව්‍යාපාර ආදී තත්ත්වයන් නිරූපණය කරනු ලබන්නේ දස වැන්නෙන්ය. මෙම ස්ථාන හතරෙහි උපතේදී කිසිදු ග‍්‍රහයෙක් නොමැති වීම සතර කේන්ද්‍රය පාළු වීම ලෙස දක්වනු ඇත. මෙසේ මේ අන්දමින් පවත්නා තත්ත්වය ඉතා අවාසනාවන්ත වූ යෝග තත්ත්වයක් වශයෙන්ද පිළිගැනීමක් ඇත.
 
 එසේම සතර කේන්ද්‍රය පාළු වූ තැනැත්තා කිසිදු වාසනාවක් නොමැති දාසකම් කරන්නා වූ සැපතක් දියුණුවක් නොලබන රජ පෙළපතක උපන්නත් හිඟන්නෙක් යැයි ඉපැරණි ජ්‍යොතිෂ ග‍්‍රන්ථයක් වන ජාතක රත්නයේ සඳහන් කර තිබේ. ඇතැම් ජ්‍යොතිෂ ඇදුරන්ද මෙවන් ආකාරයේ ජන්ම පත‍්‍රයක් අතට ගත් සැණින් එම ජන්මියා තදබල අවාසනාවන්ත, පැතුම් ප‍්‍රාර්ථනාවන් ඉටු කර ගැනීමට නොහැකි කාලකණ්ණි දිවියකට හිමිකම් කියන්නෙක් යැයි
 
 නිගමනය කරනු ඇත. නමුත් පළමුවෙන්ම සඳහන් කළ යුත්තේ එය සම්පූර්ණයෙන්ම අසත්‍ය හෙවත් සාවද්‍ය කාරණාවක් බවයි.
 
 සතර කේන්ද්‍ර ස්ථානයන් කේන්ද්‍රයක වැදගත් ස්ථාන බව නොරහසකි. ධර්ම/ අර්ථ/කාම/මෝක්ෂ යනුවෙන් මෙම ස්ථාන නම් කර ඇත. එම නිසා එම ස්ථානයන්හි එකදු ග‍්‍රහයෙක්වත් තැම්පත් නොවීම අඩුපාඩුවක් ලෙස සැලකිය හැකි වුවත්, එම දෝෂය භංග කරනු ලබන ග‍්‍රහ පිහිටීම් කේන්ද්‍රයෙහි අනිවාර්යයෙන්ම යෙදී තිබෙනු ඇත. මෙවන් අවස්ථාවන්හිදී ඉහත සඳහන් කරන ලද අශුභ තත්ත්වයන් ජන්මීන්ට උදා නොකරනු ඇත. සතර කේන්ද්‍රය පාළු වූ බොහෝ දෙනා අතීතයේත් මේ වන විටත් මහා ධන කුවේරයන්, සුප‍්‍රසිද්ධ විද්වතුන්, උසස්ම ප‍්‍රභූවරුන්, සම්භාවණීය පූජකවරුන්, රාජ්‍ය තාන්ත‍්‍රිකයන්, පමණක් නොව ඇතැම් යුද්ධ සේනාධිපතිවරුන් පවා මෙම යෝගයෙන් බිහිවී ඇති බව ප‍්‍රබල කේන්ද්‍ර පරීක්ෂාවන්ගෙන් පෙනී ගොස් ඇත. ඉන්දියාවේ හිටපු අගමැති කෙනෙකු වූ ශ‍්‍රී මෝරාර්ජි රංචෝද්ජි දේශායි මහතාගේද කේන්ද්‍රය පාළු වී තිබේ. මේ අන්දමින් බලන කල මෙම යෝගය පිහිටියත් මෙහි අශුභතා බිඳ දමන දෝෂ භංග සාධක පිළිබඳ යම් දැනීමක් දත යුතුය.
 
 සතර කේන්ද්‍රයේ ග‍්‍රහයන් නොපිහිටා ඇතත් චන්ද්‍රයා සිටින තැනින් එක/හතර/හත/දහය යන කුමන හෝ ස්ථානයක රාහු /කේතු හැර කුමන හෝ ග‍්‍රහයෙක් පිහිටීමෙන් දෝෂය භංග වී යනු ඇති හැඟීමකි. එසේම සිටින තැනම දෙකේ හෝ දොළහේ ග‍්‍රහයෙක් ඇත්නම් එයද මෙම දෝෂය භංග කිරීමට හේතු වේ. පස්වැන්නේ හෝ නව වැන්නේ ගුරු ගුහයා සිට ලග්නය දකින කල්හිද, එසේ නැතහොත් ශුක‍්‍ර එම ස්ථානයක සිට ලග්නය දකින කල්හිද මෙම කේමදෘම දෝෂය භංග වී යනු ඇත. ඇතැම් ජ්‍යොතිෂවේදීන් දළ කේන්ද්‍ර සටහන පමණක් දෙස බලා මෙම දෝෂය පිළිබඳ
 
 ගෙනහැර පෑම් සිදු කරන අතර, නමුත් නිසි ලෙස නම් එසේ සිදු නොවිය යුතු බවද සිහිපත් කළ යුතුය. මන්ද කුඩා දරුවෙකුට මෙවන් යෝගයක් පිහිටන අවස්ථාවකදී ඇතුළාන්තය නොදැක යම් යම් තීන්දු තීරණයන්ට පැමිණීමෙන් දෙමාපියන්ගේද සිත් බලවත් ව්‍යාකූල තත්ත්වයන්ට පත් වන අවස්ථා මා දැක ඇත.
 
 එනිසා කේමදෘම යෝගය හෙවත් සතර කේන්ද්‍රය පාළු වීම ජ්‍යොතිෂයට අනුව අසත්‍යයක් නොවේ. නමුත් වැදගත් වන්නේ එහි දෝෂ භංග සාධක තුළින් එම තත්ත්වය දුරු කර ගැනීමටත් හැකියාව පවතින්නේද යන කාරණා මත පිහිටාද ප‍්‍රතිඵල තීරණය කළ යුතුය යන්නයි.
 
 ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යාවේදී, හස්ත රේඛා ශාස්ත‍්‍රඥ,
 \කේ.පී. ක‍්‍රිෂාන්ත ප‍්‍රියදර්ශණ සුරවීර

More News »