71 Views  
ඡේසුස්‌ වහන්සේගේ ජන්ම පත්‍රය සහ
කිතුණු බැතිමතුන්ගේ අපල වලට පිළියම්



මේ එළැඹෙන්නේ අසිරිමත් නත්තලයි· එනම් ක්‍රි.ව. 2016 දෙසැම්බරයේ 25 වැනි ඉරිදා උදාවන්නේ තවත් අසිරිමත් වූ නත්තලකි· හරියටම මීට වසර 2016 කට පෙර දෙසැම්බර් 25 වන දිනක හෙවත් උඳුවප් මස පුර අටවක තිථිය ලත් සඳුදා දිනක මධ්‍යම රාත්‍රි 12.00 ට පමණ බෙත්ලෙහෙමේ ගව මඩුවකදී ලොවටම අසිරිමත් වූ සුවිශේෂී උපතක්‌ සිදු විය. ඒ සාමය සමාදානය ලොවට බෙදාදුන් සාමයේ කුමාරයා ලෙස විරුදාවලි ලත් ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උපතයි.

ලෝක ජනතාවගේ ජීවිත හිත සුව පිණිසත් ජනතා මෙහෙවරටත් තම ජීවිතය කැප කළ ලෝකයේ උපන් අති ශේ්‍රෂ්ඨ උත්තමයන් රැසක්‌ මෙලොව ජනිත වූයේ බුධ හිමි කන්‍යා ලග්නයෙනි. එවන් වූ පොදුජන හිත සුව පිණිස ජීවිතය කැප කළ ලොව විරුවන්ගේ උත්පත්ති ලග්නය වන කන්‍යාවෙන් හා මේෂ නවාංශකයෙන් උපන් මෙතුමාගේ ජන්ම පත්‍රය තුළ අති විශේෂ ග්‍රහ පිහිටීම් රැසක්‌ම විය. උන්වහන්සේට පමණක්‌ම පිහිටන එම සුවිශේෂ ග්‍රහ පිහිටීම් නිසාවෙන් ඡේසුස්‌ වහන්සේ මේ ලෝකයේ ජීවත් වූ පව්කාර මිනිසුන්ගේ ගැලවුම්කරු බවට පත් විය. වයස 33 කට පමණක්‌ සීමා වූ ඉතා කෙටි කාලයකදී ජීවමාන වූ දර්ශනයක්‌ වන කිතු දහම මෙලොවට හඳුන්වා දීමට උන්වහන්සේ සමත් විය.

මෙතුමාගේ ජන්ම පත්‍රය දෙස අවධානය යොමු කිරීමේදී කන්‍යා ලග්න ජන්ම පතේ ගුරු, සඳු හා සෙනසුරු යන ග්‍රහයන් 7 වැන්න වූ මීන රාශියේ තැන්පත්ව ඇත. එම ත්‍රි ග්‍රහ යෝගය මගින් එතුමාගේ මුළු ජීවිතයම අපට මැනවින් අවබෝධ කරගත හැකිය. ගුරු හා චන්ද්‍රයාගෙන් යෙදෙන හංස හා ගජ කේශර යන අති ප්‍රබල සුබ යෝග මගින් උපන් උන්වහන්සේ මේ ලෝකයට අති ශ්‍රේෂ්ඨ උත්තමයකු බවට පත්විය. ග්‍රහ ලොව සුරගුරු ලෙස හඳුන්වන දෙවියන්ගේත් ගුරු වන බ්‍රහස්‌පතීගේ බලය ලග්න කේන්ද්‍රයේ මෙන්ම නවාංශක කේන්ද්‍රයේද මැනවින් පිළිබිඹු විය. එය උන්වහන්සේට දේව දර්ශනය ලොවට කියා දෙන්නට මහත් වූ රුකුලක්‌ විය. රවි, බුධගේ බලය ලග්න හා නවාංශක කේන්ද්‍ර වන වර්ගෝතමව පිහිටීම උන්වහන්සේ ලෝවැසියාගේ ගෞරවයට පාත්‍ර වීමටත් නායකත්වයටත් මහත් වූ රුකුලක්‌ විය. කේතු 9 වැන්නේ පිහිටීමද ඉතා වැදගත් වූ ග්‍රහ පිහිටීමකි. අසල්වැසියාට ප්‍රේම කිරීම තුළින් මේ ලෝකයට මෛත්‍රිය, දයාව, කරුණාව, පරිත්‍යාගය යන උතුම් දේව ගති ලොවට කියා පෑමට උන්වහන්සේට සිතට අධිපති සඳුගේ බලය මහඟු පිටිවහලක්‌ම වූයේය.

ගුරු හා සඳු අතරට ලෝකෝත්තර සුවයට අධිපති ශනි හෙවත් සෙනසුරුගේ පැමිණීමෙන් හා 7 වැන්නේ මෙම යෝගය පිහිටීමෙන් මෙලොව පව්කාර මිනිසා එම පව්වලින් මුදවා ගැනීමත් සාමයේ ආලෝකය තුළින් මුළු ලොවම බැබළවීමටත් උන් වහන්සේට හැකි විය.

මේ අසිරිමත් සුබ නත්තලේ ඡේසුස්‌ වහන්සේ මේ ලොවට දුන් සාමයේ පණිවිඩය අප සැමත් මැනවින් තේරුම් ගෙන පව්කාර සිතුවිලි හා ක්‍රියාවන් ගෙන් ඈත්ව යහපත් වූ දැහැමි ජීවිතයක්‌ ගත කිරීමට අදිටන් කර ගනිමු.

කිතුනු ලබ්ධිකයන් වන ඔබට සෙනසුරු ඇතුළු සියලු ග්‍රහ අපල උපද්‍රවයන් සඳහා පහත සඳහන් ග්‍රහ ශාන්ති කර්ම ඔබගේ ආගම අනුව අනුගමනය කළ හැකිය.

* කිතුනු ඹබට සෙනසුරු අපල ඇත්නම් ඔබ පළමුව ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේට හා දෙව්මවුන්ට බාරයක්‌ වන්න. අපල කාලය අවසන් වන තුරු වසරින් වසර එය අලුත් කළ යුතුය.

* සෙනසුරාදා දිනයන්හි ඔබේ නිවසේ ඇති දෙව් මැඳුරේ පූජාසනය නිල් මලින් සරසන්න. (සෙනසුරු ග්‍රහයාගේ වර්ණය නිල් පැහැය වේ) දිව්‍ය පූජා යාගය මැද සිදු කරනු ලබන පඬුරු පූජාවට නිල් මල් පූජා කිරීම ඉතාම යහපත් වන අතර එමගින් ශනි ග්‍රහයා සතුටට පත්ව එම අපල අවම කරගත හැකිය. ඔබ දෙවිඳුන් සඳහා දල්වන පහනට එළඟිතෙල් බිඳුවක්‌ එක්‌ කරන්න.

* ඡේසුතුමන් උපත ලද්දේ ගවහලක නිසාවෙන් ඔබත් ගවයෙකු මරණයෙන් නිදහස්‌ කරන අවස්‌ථාවකට හැකි පමණින් ආධාර උපකාර කිරීම මෙම සෙනසුරු අපලයට ඉතා සුබදායක වනු ඇත.

* මෙම සෙනසුරු අපල පවතින කාලසීමාවේදී තද නිල් හෝ කළු ඇඳුමින් සැරසී ගමන් බිමන්වල යෙදීම තුළින් සෙනසුරුගෙන් නිකුත් වන අසුබ කිරණ එම වර්ණ මගින් පරාවර්තනය වීමෙන් ඔබේ ජීවිතයට යහපත උදා වනු ඇත.

* සෙනසුරාදා (ශනිදා) දිනවල උදේ 6 / 7 ත් අතර එළඟිතෙල් මිශ්‍ර කිරිබත් ගුලි 9 ක්‌ තම හිස වටා කරකවා කපුටන්ට කෑමට දෙන්න. (වතුර බේසමක්‌ද තබන්න)

* ඔබ වෙත උදව් ඉල්ලාගෙන පැමිණෙන අවංක කෙනෙකු කිසි විටෙක හිස්‌ අතින් නොයවන්න. ඔහුට උදව් උපකාර කරන්න. (සෙනසුරු යනු මහලු හිඟන පුද්ගලයකුට සමානකොට ඇත)

* ගව සූකර ඇතුළු මාංශ කෑමෙන් හා මත්පැන්, දුම්වැටි පානයෙන් මිදී ධාර්මික දිවි පෙවෙතක්‌ ගතකිරීම ඉතාම සුබදායක වනු ඇත. මෙම අපල පවතින කාලය පුරාම නිර්මාංශව සිටීම ඉතාම වැදගත් වන අතර ඔබ නිර්මාංශ වීමෙන් එකතු කර ගන්නා පින ඡේසුට හා දේව මෑණියන්ට අනුමෝදන් කරන්න. එය ඔබේ අපල ටිකෙන් ටික අඩු වීමට හේතුවක්‌ වනු ඇත.

* සෑම සෙනසුරාදා දිනකම උදේ වරුවේ අපලය පවතින පුද්ගලයා නිරාහාරව සිටිමින් එම ආහාර වේල අංගවිකල හෝ වම් පාදයේ ආබාධයක්‌ සහිත අසරණ දුගී අයෙකුට දන් දෙන්න. එදින ඔබ නිර්මාංශ ආහාර වේලක්‌ ලෙස තම ආහාරය ගත යුත්තේ දහවල් 12.00 න් පසුව වන අතර රාත්‍රි ආහාරය පලතුරු හෝ කිරි අහාර වේලක්‌ විය යුතුය.

* විශේෂයෙන් සෙනසුරාදා හා ඉරිදා දිනවල දෙව් මැඳුරට ගොස්‌ දිව්‍ය පූජාවට සහභාගී වන්න. එය සෙනසුරු අපලයට මහඟු පිළියමකි. ඊට අමතරව බදාදා, සිකුරාදා හා සෙනසුරාදා දිනවල හැකි පමණ පුණ්‍ය කටයුතුවල යෙදෙන්න.

* බදාදා සිට පාස්‌කු ඉරිදා දක්‌වා වූ කාලය තුළ නිර්මාංශ ආහාර පමණක්‌ ගෙන එම පාස්‌කු කාලය තුළ පුරාවට එක්‌ වරුව බැගින් උපවාස ශීලය රැකීම කල යුතුය.

වැඩි විස්‌තර සදහා 0382293771 /0772753100

ජ්‍යෙතිෂවේදී, බණ්‌ඩාරගම,
සම්පත් එස්‌ කල්පගේ

divaina.com


Wmqgd .ekSu weiqfrks