20 Views  
ටොලමියානු ජ්‍යොතිෂයෙන් 2017 ලග්න පලාපල

සිංහ - වෙනස්වීමට කාලය ඇවිත්
කන්‍යා - ගැටුමට නොයා ජයගනී
තුලා - 2017 වසරේ විජයග්‍රාහකයා
වෘශ්චික - ආත්ම ශක්තිය ඉටු දෙවියකු වෙයි

පුරාණ ටොලමියානු ජ්‍යොතිෂය අද ඉතා දියුණුවට පත්ව තිබෙන බටහිර ජ්‍යොතිෂ විද්‍යාවේ පූර්ව අවස්ථාව ලෙස සැලකෙයි. ගණිතඥයන් සහ ජ්‍යොතිෂ විශාරදයන් ලෙස මහත් සම්භාවනාවට පාත්‍රවන ක්ලෝඩියස් ටොලමි සහ පයිතගරස් යන දෙදෙනා විසින් ජ්‍යාමිතික ගණිත සූත්‍රයකට අනුව වැඩි දියුණු කරන ලද පංච බල මූලධර්මය (PRINCILPE OF THE FIVE ELEMENT) පොදු පලාපල කථනය සඳහා ඉතා සාර්ථකව යොදා ගත හැකිය. 2017 වසර එක් එක් ලග්න හිමියන්ට බලපාන ආකාරය පිළිබඳව එකී මූලධර්මය අනුව විමසා බලමු. ශ්‍රී ලංකාවට එම පලාපල කථන ක්‍රමය හඳුන්වා දෙන පළමු අවස්ථාව මෙයයි.
 සිංහ ලග්නය

ගිනි බලයෙන් ද මන්දවේගයෙන් ද දැඩි ආත්මාධිරෝපිත මනසකින් ද යුත් සිංහ ලග්නය හිමි ඔබ කොතැනකට ගියත් තමා ප්‍රමුඛව ලෝකය සමඟ ගනු දෙනු කරන්නෙකි. එහෙත් පසුගිය වසර දෙක හමාරක කාලයේදී ඔබ ඔබගෙන් ම ඉතා දුෂ්කර පාඩම් ඉගෙන ගත්තේ ය. ඊට නො දෙවැනිව සමාජයෙන් සහ පවුල් සංස්ථාවෙන් ද ඔබට ලෝකය සහ ඔබ පිළිබඳ යථාවබෝධය ඇති කරවන කටුක සිදුවීම් නිර්මාණය කැර දුන්නේ ය. ඊට හේතු වූයේ ඔබේ ලග්නයෙන් 06 සහ 07 අධිපති සෙනසුරු ග්‍රහයා ඔබට සතුරු අඳුරු විසකුරු ජල රාශිය වූ වෘශ්චිකයේ තැන්පත්ව ඔබේ මනස සහ සිතිවිලි මූලාශ්‍රය වූ 04 වැන්න පීඩාවට පත් කිරීමය.

ඔබට ඔබ ගැන ම ඇති වූ ආත්මානුකම්පාව ජීවිතයට ම සෙනසුරු ගෙන් ලැබුණු අමිල ත්‍යාගයක් බව අමතක නො කරන්න. 2017 ජනවාරි 26 දා සිට ඉදිරි වසර දෙක හමාරක කාලයේ එකී සෙනසුරු ගමන් ගන්නේ ඔබේ කේන්දරයේ බලවත් ත්‍රිකෝණස්ථානයක් වූ 05 වැන්නේ ය. ඔබට ඉතා ම මිතුරු ගිනි බලයෙන් යුත් ධනු රාශියේ ගමන් කරන සෙනසුරු යහපත් යුක්තිගරුක ගුරු ග්‍රහයාගේ බලය ද සහිතව ඔබේ ලග්නයෙන් 7 වැන්න 11 වැන්න සහ 2 වැන්න යන ස්ථාන වෙත බැල්ම හෙළයි.

මේ අවස්ථාව මිශ්‍ර පලදායක ය. කෙටියෙන් ම කිවහොත් රස්සාව සහ පරස්තාව යන දෙකම හෙල්ලුම්කන තත්ත්වයක් මතුවෙයි. එහෙත් ඒ කිසිවකින් ඔබේ ජයග්‍රහණයන් වැළැක්විය නොහැක. මෙවර සෙනසුරු විසින් ඔබව අතරමං කරන්නේ හෝ සරණාගතයකු බවට පත් කරන්නේ නැත. එහෙත් ඒ සඳහා ඔබ විසින් කළ යුතු අභ්‍යාස කිහිපයක් තිබේ. පළමුව ඔබ තුළ නිසර්ගයෙන් ම ඇති මමංකාරය පුපුරවා විනාශ කොට පියවි සිහිය ලබා ගත යුතු ය. දෙවනුව පසුගිය වසර දෙක හමාරක කාලයේදී ඔබ විසින් කළ කටයුතු පිළිබඳව ස්වයං විවේචනයක යෙදෙන්න.

ඔබ එසේ නො කරන්නේ නම් සෙනසුරු විසින් එය බලහත්කාරයෙන් සිදු කරනු ලබයි. දෙකෙන් එකක් තෝරා ගන්න. ඔබේ රැකියාව නම් නියත වශයෙන් ම වෙනසකට ලක්වෙයි. ප්‍රේම සබඳතා හෝ විවාහය අභියෝගයට ලක්වෙයි. ඒ දෙ අංශයෙන් ම අලුත් අත්දැකීමක ආරම්භය සනිටුහන් වෙයි.2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 09 වැන්න වූ ගිනි බලයෙන් යුත් මේෂ රාශියට පැමිණෙන්නේ වසර 84 කට පසුවයි. ඔබ ජීවිතයේ කිසිදා මුහුණ නොදුන් අනපේක්ෂිත සිදුවීම් මාලාවක් ඉදිරි සත් වසර පුරාම අත් දකින්නට සිදුවෙයි. ඔබේ ජීවිතය අංශක 360 කින් වෙනස් වෙයි.

රාහු ග්‍රහයා තවමත් ගමන් ගන්නේ ඔබේ හිස මතින් ය. එය ද පීඩාදායක ය. 2017 අගෝස්තු 17 දා එකී රාහු ඔබට ඉතා ම සතුරු ජල බලයෙන් යුත් කටක රාශිය හෙවත් ඔබේ ලග්නයෙන් 12 වැන්නට ගමන් ගනී. ජන්ම කේන්දරයේ රාහු දුබල නම් මේ එතරම් යහපත් තත්ත්වයක් නොවේ. සතුරු බල මර්මස්ථානයක් වූ 12 වැන්න කැළඹීම ඔබේ ජීවිතයට එල්ලවන සුනාමියකි. විදේශගතවීමට සිතන්නේ නම් මැනවි. කෙසේ නමුත් මෝර පිරිත සහ අභිසම්භිධාන පිරිත දිනපතා කියවීම ඉතා ගුණදායක ය. මත්පැන් පානය ඔබට ඉතා ම අහිතකර ය.

දැනට ඔබේ ලග්නයෙන් 02 වැන්න වූ පඨවි බලයෙන් යුත් කන්‍යාවේ ගමන් ගන්නා ගුරු ග්‍රහයා නිසා ඔබ කෙසේ හෝ නොවැටී සිටී. එහෙත් 2017 සැප්තැම්බර් 13 දා එකී ගුරු ඔබේ ලග්නයෙන් 03 වැන්න වූ වායු බලයෙන් යුත් තුලා රාශියේ ගමන් කරන්නට ගනී. එවිට ගුරු සහ සෙනසුරු අතර අංශක 180 ක දෘෂ්ටි සංයෝගයක් හට ගනී.

මේ ඔබේ ජීවිතයේ ඉතා ම කලාතුරකින් හට ගන්නා අති ප්‍රබල ආධ්‍යාත්මික ඥාන විභාගයකි. මේ අවස්ථාව පැහැර නො හරින්න. දුගියකු ලෙස පෙනී සිටින්න. දෙවියකු බ්‍රහ්මයකු ලෙස සත්‍යය අවබෝධ කර ගන්න. එවිට ඔබ කිසිවකුට පරදින්නේ නැත.සමස්තයක් වශයෙන් ගත් කළ 2017 ඔබට ආන්දෝලනාත්මක වර්ෂයකි. ඔබ ස්වේච්ඡාවෙන් ම වෙනස්විය යුතුයි. එය ජයග්‍රහණයකි. නො එසේ නම් ලෝකයා විසින් ඔබව වෙනස් කරනු ලැබේ. එය පරාජයකි.

 තුලා ලග්නය

වායු බලයෙන් ද අධිවේගයෙන් ද පෙරළිකාර මනසකින් ද යුත් තුලා ලග්නයෙන් උපන් ඔබ කොතැන ගියත් යුක්තිය වෙනුවෙන් සටන් වදින්නෙකි. අන් අය වෙනුවෙන් හඬ නගන්නෙකි. එහෙත් පසුගිය වසර හත හමාරක කාලයේදී ඔබට දෛවයෙන් යුක්තිය ඉටු වූයේ නැත. ඊට හේතු වූයේ ඔබ සෙනසුරුගේ ඒරාෂ්ඨක සමයට මැදි වීමයි. ඔබේ කේන්දරයේ 04 සහ 05 යන බලවත් යෝගකාරක ස්ථාන දෙකට අධිපති සෙනසුරු සතුරු විසකුරු ජල වෘශ්චික රාශියේ පීඩාවට පත්ව සිටි පසුගිය වසර දෙක හමාරක කාලය ඔබට එකී පීඩාව ඉතා බලවත්ව ගෙන දුන්නේ ය.

2017 ජනවාරි 26 දා සෙනසුරු ඔබට ඉතා ම මිතුරු ගිනි බලයෙන් යුත් ගුරු හිමි ධනු රාශියට පිවිසෙයි. ධනු රාශිය ඔබේ කේන්දරයේ 03 වැන්න වන්නා සේම සෙනසුරු මහත් බලයක් අත් කැර ගන්නා ස්ථානයකි. 2017 වසරේ විජයග්‍රාහකයා ලෙස ඔබ සතුටු වන්න. ඔබේ සියලු සුබ පල ක්‍රියාත්මක කරවන යෝග කාරක සෙනසුරු ඉතා බලවත්ව ධනු රාශියේ ගමන් කිරීම නිසා මින් ඉදිරියට ඔබ සෑම සියලු අතින් ම සාර්ථකත්වය ලබයි. සිත් තැවුල් මෙන් ම කායික පීඩාවන් ද දුරු වී යයි. ඉතා සුබ කාල පරිච්ඡේදයක බලවත් ආරම්භයකි.

2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 7 වැන්න වූ ගිනි බලැති මේෂ රාශියට පිවිසෙයි. අනෙක් සියලු කටයුතු අතින් ඔබ භාග්‍යවන්තයකු වුවත් යුරේනස් වැනි පෙරළිකාර වායු බලැති ග්‍රහයකු 7 වැන්නේ ගිනි බලය සමඟ සංයෝගවීම එතරම් යහපත් නොවේ. ඔබේ විවාහ ජීවිතය සහ සමාජ සබඳතා සම්බන්ධයෙන් අති ධාවනකාරී තත්ත්වයක් පෙන්නුම් කරයි. එය ඔබගේ පෞරුෂය සහ ප්‍රතිරූපය කෙරෙහි හානිකර විය හැකි හෙයින් අන් අය සමඟ සබඳතා පැවැත්වීමේදී ආවේගශීලී නොවීම වැදගත් වෙයි. යුරේනස් 7 වැන්නේදී විවාහ නාශක භූමිකාව ආරෝපණය කැර ගන්නා හෙයින් ද ඔබේ ලග්නයෙන් 7 වැන්න ප්‍රබල ගිනි රාශියක් වීමත් නිසා ඔබ ඉදිරි සත් වසරක කාලයේදී විවාහය සහ සමාජ සබඳතාවලදී සැලකිලිමත් විය යුතු ය.

2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 10 වැන්නට පිවිසෙයි. එහි ඇති ජලකාරක බලය සමඟ වායුකාරක රාහුගේ සංයෝගය මතුපිටින් සතුරු ලෙස පෙනී ගිය ද වේගය සහ චිත්ත ස්වරූපය අතින් ඔබේ ලග්න බලය සමඟ එය එකිනෙකට පෑහෙයි. මේ නිසා යම් යම් බාධා මැද වුවත් ඔබගේ වෘත්තීය කටයුතු ඉතා කඩිනම් දියුණුවක් ලබයි. සේවා ස්ථානය තුළ ඔබේ බලය සහ නම ප්‍රකට කෙරෙයි. සමාජයේ ද ප්‍රසිද්ධියට පත්වන කරුණු යෙදෙයි. මෙය ද ඔබට සුබදායකය.

2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයට පැමිණෙයි. එවිට ඔබේ වායු බලැති ලග්නයේ තැන්පත් ගුරු සහ ගිනිකාරක 7 වැන්නේ තැන්පත් යුරේනස් අතර අංශක 180 දෘෂ්ටි සංයෝගයක් හට ගනී. මේ ග්‍රහ පිහිටීම් සියල්ල ගත් කළ ඔබේ කේන්දරයේ ඉතා බලවත් ලෙස ගිනි සහ වායු මධ්‍යස්ථාන උත්තේජනය කෙරෙයි. මෙය ඔබට ඉතා යහපත් ය. පෙර නොවු විරූ බල පරාක්‍රමයක් ඔබ වෙතින් ප්‍රකට වන අතර අති ධාවනකාරී ගමනක් ද පෙන්නුම් කරයි. එහෙත් ඔබ මෙය පාලනය කැර ගැනීමට ද උත්සුක විය යුතුය. සමස්තයක් වශයෙන් ගත් කළ ධනය බලය සහ වික්‍රමය යන ත්‍රිවිධ අංශයෙන් ම ඔබ පොහොසත් වෙයි. ඒ අනුව ඔබ 2017 වසරේ විජයග්‍රාහකයා ලෙස නම් කළ හැකිය.

කන්‍යා ලග්නය

තද පඨවි බලයෙන් ද මධ්‍යස්ථ වේගයෙන් ද නිර්මල චින්තනයෙන් ද යුත් ඔබ සොඳුරු ආඥාදායකයෙකි. හැම විටම ඔබේම සැලසුමකට වැඩ කරන්නෙකි. අන් අයට ද ඔබේ ක්‍රමයට අනුගත වන ලෙසට බල කරන්නෙකි. ආදර්ශයෙන් ම ඔබ රාජකාරියට කැප වූ චරිතයකි. පසුගිය වසර දෙක හමාරක කාලයේ ඔබට මිතුරු ජල රාශිය වූ වෘශ්චිකය හෙවත් 03 වැන්නේ බලවත්ව සෙනසුරු ගමන් කිරීම යහපත් ය. ඔහු ඔබේ කාර්‍ය සාධනයට සහ වෘත්තීය දියුණුවට අත හිත දුන්නේ ය.

බාධක මැඩ ඉදිරියට යෑමේ බලය සහ අවස්ථාව ලබා දුන්නේ ය. 2017 ජනවාරි 26 දා එකී සෙනසුරු ඔබේ ලග්නයෙන් 04 වැන්න සහ සතුරු ගිනි බලයෙන් යුත් ධනු රාශියට පිවිසෙයි. සෙනසුරු ඔබේ 05 වැන්න සහ 06 වැන්න අධිපතියා ය.

සෙනසුරු වැනි වායු බලැති පෙරළිකාර ග්‍රහයකු 04 වැන්න හෙවත් මනස සහ සිතිවිලි මූලාශ්‍රයට පැමිණීම නිසා මෙතෙක් පැවති ඔබේ චින්තන රටාව මහත් විපරිවර්තනයකට ලක්වෙයි. එහි හොඳ හා නරක යන දෙකම තිබේ. 04 වැන්න සහ සෙනසුරු යන සාධක දෙකම පංච බල මූලධර්මය අනුව ඔබට මිතුරු බලයක් නොවේ. එහෙත් 04 වැන්න ඔබේ කේන්දරයේ ප්‍රබල මර්මස්ථානයක් නොවේ. එහෙයින් ඔබට බියවීමට හේතුවක් නැත.

අවශ්‍ය වන්නේ සිතිවිලි සහ හැඟීම් පාලනය කැර ගැනීමය. සෙනසුරු 04 වැන්නේ සතුරු බලය උත්තේජනය කරන තාක් ඔබට පෙර මෙන් ආඥාදායක ස්වරූපයෙන් කටයුතු කළ නොහැකි බව සිහි තබා ගන්න. දෙවනුව එකී සෙනසුරු ඔබේ කේන්දරයේ ලග්නය සහ 06 - 10 - යන ස්ථාන දකී. එහෙයින් ඔබ මෙතැන් සිට ලෝකය ඉල්ලා සිටින තත්ත්වයන්ට අනුගත විය යුතුව තිබේ. ඔබේ පෞද්ගලික න්‍යාය පත්‍රයට අනුව අන් අය මෙහෙයවිය නො හැකි බවත් අමතක නොකළ යුතු ය. 2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 08 වැන්න හෙවත් සතුරු ගිනි බලැති මේෂ රාශියට පැමිණීම ඉතා ම අනතුරුදායක ය.

යුරේනස් වැනි ග්‍රහයකු විසින් 08 වැන්න වැනි මර්මස්ථානයක සතුරු බලය උත්තේජනය කිරීම විශේෂයෙන් සැලකිලිමත් විය යුතු තත්වයකි. ඔබේ කේන්දරයේ 04 සහ 08 වැන්නේ පිහිටන ශනි = යුරේනස් දෘෂ්ටිය අංශක 120 කි. මේ වනාහී හොඳට හොඳයි ඒත් නරකට නම් ඉතාම නරකයි යන කියමන සිහිපත් කරවන්නකි. මෝර පිරිත සහ අභිසම්භිධාන පිරිත කියවීම ඉතා ගුණදායක ය. ආනාපානා සති භාවනාව ද ඉතා ප්‍රශස්ත ය.2017 අගෝස්තු 17 දා වනතුරු රාහු ඔබේ ලග්නයෙන් 12 වැන්න වූ සතුරු බලැති සිංහ රාශියේ ගමන් කිරීම ද සුබදායක නොවේ.

08 වැන්න යුරේනස්ගෙන් ද 12 වැන්න රාහුගෙන් ද යනාදී වශයෙන් ඔබට පරම සතුරු වායු බලයෙන් යුත් හිතුවක්කාර ග්‍රහයන් දෙදෙනෙකු වෙතින් බලවත් ලෙස උත්තේජනය වීම බරපතළ ලෙස අනතුරුදායක ය.මේ නිසා 2017 අප්‍රේල් 08 සිට අගෝස්තු 17 දක්වා වූ මාස පහක කාලය ඔබ විශේෂයෙන් පරෙස්සම් විය යුතුය. කන්‍යා ලග්නයෙන් උපන් දේශපාලන නායකයන් - ආරක්ෂක අංශ ප්‍රධානීන් වැනි අය කෙරෙහි මේ පීඩාව බලවත් ලෙස දැනෙනු ඇත. කෙසේ නමුත් 2017 අගෝස්තු 17 දා සිට රාහු ඔබේ ලග්නයෙන් 11 වැන්න වූ අති මිතුරු කටක රාශියේ ගමන් කිරීම ඉතා සුබදායක ය. වාසානාවන්තය. එතෙක් පරෙස්සම්වන්න.

2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 02 වැන්නට පිවිසීම ද ඉතා සුබදායකය. ඊට අමතරව 08 වැන්නේ තැන්පත් යුරේනස්ගේ සතුරු බල හීන කිරීමට ද ගුරු ක්‍රියාත්මකවනු ඇත. එහෙත් ගුරු ඔබේ බාධක ග්‍රහයා වෙයි. මේ නිසා ජන්ම කේන්දරයේ ගුරුගේ පිහිටීම අනුව ප්‍රතිඵලය වෙනස්විය හැකිය.

සමස්තයක් වශයෙන් ගත් කළ කන්‍යා ලග්නයෙන් උපන් ඔබට 2017 මිශ්‍ර පලදායක වර්ෂයකි. එහෙත් ඉවසීම සහ නම්‍යශීලීබව ඇති කැර ගත හැකි නම් අවසන් ජයග්‍රාහණය ඔබ සතුවෙයි. බෝම්බ පුපුරන වෙඩි වරුෂා අහසට නැගෙන යුද පිටියක් මතින් ගමන් කිරීම අනතුරුදායක නොවන්නේ ද ? මේ අවදානම පහවනතුරු ඔබ සිටිය යුත්තේ පොළොව යට බංකරයක ය. ඔබ ඒ ගැටුමේ පාර්ශ්වකරුවකු නොවිය යුතුය.
 වෘශ්චික ලග්නය

ජල බලයෙන් ද මන්දවේගයෙන් ද දැඩි මනසකින් ද යුත් වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ තමාගේ ඇතුළාන්තය නො සොයා අන් අයගේ කටයුතු පිළිබඳව ගුණ දොස් සොයන්නෙකි. මේ නිසර්ග ස්වභාවය නිසා ඔබ පසුගිය වසර පහක කාලයේදී කළ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි වසර දෙක හමාරක කාලයේදී වග උත්තර කීමට දෛවයෙන් බැඳී සිටී. 2017 ජනවාරි 26 දා ඔබේ ලග්නයෙන් 02 වැන්න වූ ඔබට පරම සතුරු ගිනි බලයෙන් යුත් ධනු රාශියට පිවිසෙන සෙනසුරු විසින් එකී අවස්ථාව උදා කරනු ලැබේ.

මීට වසර 29 කට පෙර ඔබ මුහුණ දුන් අත්දැකීම්වලට සමාන තත්ත්වයක් එමඟින් නිර්මාණය කෙරෙයි. එමඟින් ඔබට ඔබේ ම ජීවිතයේ ඇතුළාන්තය පිරික්සීමේ දුර්ලභ අවස්ථාවක් සෙනසුරු විසින් පිරිනමයි. මේ අවස්ථාවෙන් ඔබ උපරිම ප්‍රයෝජනය ගනීම වටී. 2017 ජනවාරි 26 දා සිට ඔබ විසින් ගත කරනු ලබන්නේ වසර හත හමාරක ඒරාෂ්ඨක සමයේ අවසන් සහ දුෂ්කර ම කාල පරිච්ඡේදය යි.

ඒ කාලය ජය ගැනීමට අත්‍යවශ්‍ය කළමනා සියල්ල ද සෙනසුරු විසින් ම ඔබට ලබා දෙන අතර අවශ්‍ය වන්නේ පියවි සිහියෙන් කටයුතු කිරීම පමණි. සෙනසුරු ඔබේ ලග්නයෙන් 03 සහ 04 අධිපතියා ය. මෙතැන් සිට ඔහු ගමන් ගන්නේ ඔබේ ලග්නයෙන් 02 වැන්නේ ය. ඔබ ඔබේ තැන්පත් ධනය මෙන් ම කට ද රැකගත යුතු ය.

2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 06 වැන්න වූ ඔබට පරම සතුරු වූ ගිනි බලයෙන් යුත් මේෂ රාශියට පැමිණීම සුබදායක නොවේ. ඉතා බලවත් සතුරන් ඔබට එරෙහිව නැගී සිටින අතර ඊට සමාන්තරව ඔබේ සිරුරේ උදරය - ආහාර මාර්ග පද්ධතිය - ප්‍රජනන පද්ධතිය - සහ ශ්‍රෝණි අස්ථි ආශ්‍රිතව වේදනාත්මක උෂ්ණ රෝග මතු විය හැකිය. මේ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් ය.

2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 09 වැන්න වූ පරම මිතුරු ජලකාරක කටකයට පැමිණීම මිශ්‍ර පලදායක ය. ඔබ තුළ ධාර්මික සිතිවිලි ජනිත කරවන අතර කිසියම් ආධ්‍යාත්මික කැළඹීමක් ද පෙන්නුම් කරයි. විදේශ ගමන් ඇති කරවයි. එහෙත් නිසැකයෙන් ම 2017 අගෝස්තු වන විට ඔබේ රැකියාවේ වෙනස්වීමක් පෙන්නුම් කරයි. මෙතෙක් පැවති වෘත්තීය සුරක්ෂිත බව අභියෝගයට ලක්වන අතර රැකියාව සහ රැකියා ස්ථානය පිළිබඳව අසහනය ජනිත කරවයි.

2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 12 වැන්න වූ සතුරු වායු බලැති තුලාවට පිවිසීම ඉතා අහිතකර ය. ගුරු ඔබේ ලග්නයෙන් 02 සහ 05 වැන්න අධිපතියා ය. 10 වැන්නෙන් 08 වැන්න ඔබේ ලග්නයෙන් 05 වැන්න වන අතර එහි අධිපතියා 12 වැන්නට පිවිසීම රැකියාව පිළිබඳව ඉහත කී අනතුරුදායක බව බලවත් ලෙස තහවුරු කිරීමකි. එමෙන් ම 02 වැන්නාධිපති වූ ගුරු 12 වැන්නට යෑම ඔබේ තැන්පත් ධනය සහ පවුල් සංස්ථාව කෙරෙහි දුෂ්කර සිදුවීම් ජනිත කරවන්නකි.

සමස්තයක් වශයෙන් ගත් කළ 2017 ඔබට ඉතා සීරු මාරු වසරකි. එහෙත් දෛවය වෙනස් කළ හැකිය. කළු වලා මැද පවා රිදී රේඛා හටගනී. ඔබට දෛවයෙන් ම හිමි වී තිබෙන තද බල ආත්ම ශක්තිය මේ දුෂ්කර කෙටි කාලයේදී යෝධ බල යෝධ සවියක් බවට ඔප් නංවා ගන්න. එවිට ඔබ පරදින්නේ නැත.

( මීළඟට ධනු - මකර - කුම්භ - මීන ලග්න පලාපල බලාපොරොත්තුවන්න.)

silumina.lk


Wmqgd .ekSu weiqfrks
Ads here
340 x 60
Rs. 5000/-