200 Views  
උදාවන අගෝස්‌තු මාසය
ඔබට සහ රටට කෙසේද?


අපලවලින් මිදෙන්න බෝධි පූජා තබන්න
ඉදිරියේදී නියඟයක්‌

උදාවන අගෝස්‌තු මාසයේ දී ඔබේත් රටේත් තත්ත්වය කුමන අතකට හැරේදැයි ජ්‍යෙdතිෂය අනුව සොයා බැලීම මේ ලිපියේ අරමුණයි. මේ මාසය තුළ ග්‍රහ මාරුවීම් කිහිපයක්‌ම සිදු වෙනවා. ග්‍රහ රාජ්‍යයේ රජු වශයෙන් සැලකෙන හිරු ලබන 16 වෙනිදා තම ස්‌වකේෂත්‍ර රාශිය වූ සිංහ රාශියට මාරු වී බලවත් වෙනවා. ඒ වුණත් ඊට පසුදිනම රහස්‌ කටයුතුවලට අධිපති රාහු ග්‍රහයාත් සිංහයටමයි මාරු වෙන්නේ. රාහු සමඟම කේතුත් මකරයට මාරුවෙන අතර මෙතෙක්‌ නීචව ගමන් කරන අඟහරු අගෝස්‌තු 27 තෙක්‌ම ගමන් කරන්නේ නීචවයි.

මෙම ග්‍රහ මාරුත් එක්‌ක රටේ විවිධ පරිවර්තනයන් සිදු වෙනවා ඇති. රවි බලවත් වීම පාලක පක්‌ෂයට සුබපලදායකයි. එA වුණත් රවිගේ ගෙදරටම රාහු ගේ පැමිණීම සුබ නෑ. එයින් පෙන්වන්නේ රහස්‌ සතුරු බලවේග විශේෂයෙන්ම අන්තවාදී කල්ලි රජයට විරුද්ධව ක්‍රියාත්මක වෙන බවයි. අන්තවාදී මූලධර්මවාදී සංවිධාන විශේෂයි. මේවා මර්දනය කරන්න ආරක්‌ෂක අංශ ශක්‌තිමත් වෙන්නේ අගෝස්‌තු 27 දාට පසුවයි. මේ පිළිබඳ වගකිව යුතු අයගේ සැලකිල්ල යොමු වීම වැදගත් වන බව කිව යුතුයි.

බ්‍රහස්‌පති අටවැන්නේ ගමන් කරන නිසා තවදුරටත් රාජ්‍ය වියදම් ඉහළ මට්‌ටමක පවතින බවත් රාජ්‍ය ආදායම් වලට බාධා පවතින බවත් පෙනේ. පූජ්‍ය පක්‌ෂයට අපලයි. කුජ නීචව පවතින නිසා හදිසි අනතුරු බහුල කාලයක්‌ බව පේනවා. වාහන පදවන අය ප්‍රවේශම් වීම වැදගත්. ආරක්‌ෂක අංශවල ප්‍රධානියෙකුට අපලදායක බවක්‌ පෙන්නුම් කරයි.

මේ ග්‍රහ මාරු අතර දේශගුණික පරිවර්තනයන්ද පෙන්වනවා. ගංවතුරින් නායයැම්වලින් පීඩාවට පත්වන ජනතාවට ආයෙමත් නියඟයක්‌ දකින්නට ලැබේවි. වියළි අහස වගේම පානීය ජල හිඟයක්‌ද පෙන්වනවා.

මේ අතරේ රාහු කේතු ඇතුළුව සිදුවන මේ ග්‍රහ මාරු උපන් ලග්න අනුව බලපාන්නේ කොහොමද කියලත් බලමු.

මේෂ - ඔබේ ලග්නාධිපති කුජ නීචව රවි සමග හතර වැන්නේත් සෙනසුරු ඒරාෂ්ටකව අටවැන්නේත් ගමන් කරමින් තිබියදී උදාවන මෙම මාසය තරමක බාධා ඇති කරන බව පෙන්වයි. හතර වැන්නේ කුජ නීච වීම ගෘහ ජීවිතයට යහපත් බවක්‌ නොපෙන්වයි.

ඉක්‌මන් කෝපය හා හදිසි තීරණ ගැනීම නිසා පවුලේ අය අතර අසමගිය ඇති වීමටත්, පවුලේ සාමය පළුදු වීමටත් ඉඩ තිබේ. පදිංචි ස්‌ථානය පිළිබඳවද චිත්ත පීඩා ඇති විය හැකිය. ඉඩම් ගෙවල් ආදියේ දියුණුවට කරන කටයුතුවලටද වාහන ගණුදෙනුවලටද බාධා පවතී. ගෙදර වැඩිහිටියෙකුට අපලදායකයි.

අගෝස්‌තු 17 වැනිදා රාහු කේතු මාරුවෙන් පසුවද ඉඩම් ගෙවල් පිළිබඳ කරන කටයුතුවලට තරමක බාධා ඇති වන බව පෙනේ. නිෂ්චල දේපළ පිළිබඳ නීතිමය ගැටළුවලට මැදිහත් නොවීමට වගබලා ගන්න. සෙනසුරු දශා අන්තර් දශා ගත කරන අයට රැකියා හා ව්‍යාපාර අංශවලට බාධා සේවක ගැටළු ඇතිවිය හැකිය. හෘදයාබාධ හෝ සෙම් රෝග ඇති අය ප්‍රවේශම් වන්න. ග්‍රහ ශාන්ති කර්ම කර ගැනීම යහපත්ය. සුබ පාට - මිශ්‍ර ලා පාට, සුබ අංක 5, 6

වාෂභ - සිකුරු හිමි වාෂභ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති දෙවැන්නේද රවි කුජ තුන් වැන්නේද සඳු සහ ශනි හතේද ගමන් කරමින් උදාවන මේ මාසය මිශ්‍රපලදායක බව පෙනේ. ඔබ ව්‍යාපාරිකයෙක්‌ නම් බලාපොරොත්තු වන ලාභ ලැබීමට අපහසු නොවේ. මව්පියන් සහ දූ දරුවන් සමඟ සතුටින් කාලය ගෙවීමට හැකිවේ. දරුවන් වෙනුවෙන් කරන කටයුතු සතුටට හේතු වෙයි. අධ්‍යාපන කටයුතු වලින්ද සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට අපහසු නොවේ. උත්සාහය ධෛර්ය වැඩිවේ. ප්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් යාමට ද සිදු වේ. ස්‌වයං රැකියා හෝ කෘෂිකාර්මික කටයුතුවලින් ලාභ ලැබේ. අගෝස්‌තු 17 සිදුවන රාහු මාරුව සුබදායක වේ. පදිංචිය පිළිබඳ ගැටළුවලට විසඳුම් ලැබේ.

මේ අතර බිරිඳ හෝ සැමියාට තරමක අපලයක්‌ද පෙන්වයි. අවිවාහක තරුණ තරුණයින්ගේ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට බාධා පවතී. එවැනි කටයුතු අගෝස්‌තු 27 දින දක්‌වා කල්දැමීම සුදුසු බව පෙනේ. කුජ දශා අන්තර් දශා ගතකරන අය හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වන්න. සුබ පාට - මිශ්‍ර ලා, සුබ අංකය 6.

මිථුන - මිථුන ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති බුධ, රාහු සමඟ තුන්වැන්නේද, සිකුරු ලග්නයේද රවි හා කුජ දෙවැන්නේද ගමන් කරමින් උදාවන අගෝස්‌තු මාසය ගෘහ ජීවිතය පිළිබඳව යහපත් බවක්‌ පෙන්වයි.

දරුවන්ගේ දියුණුව හා සාර්ථකත්වය දැක සතුටට පත් විය හැකි වේ. පසුගිය කාලයේ තිබූ ගැටළුවකට විසදුම් ලැබේ. ලිsපි ලේඛන හා ශාස්‌ත්‍රීය කටයුතුවලට සුබදායක වේ. අසල්වාසීන් සමඟ පවතින සුහදතාව වැඩිවේ. අමනාප දුරු වේ. මව්පියන්ට සුබ දායක වේ.

මේ අතර පවුලේ වියදම් ඉහළ යන බවද පෙනේ. සමහර විට තැන්පත් මුදලක්‌ පවා වියදම් වීමට ඉඩ තිබේ.

අගෝස්‌තු 16 සිදුවන රවි මාරුව ඔබට සුබ දායක වේ. කේතු දශා ගතකරන අය අගෝස්‌තු 17 දිනට පසුව ශරීරයේ පෝෂණ ඌණතා නිසා ඇතිවන අසනීප ගැන ප්‍රවේශම් වීම හා ඊට අදාළ ශාන්ති කර්ම කර ගැනීම මැනවි. දිනපතා කරණීයමෙත්ත සූත්‍රය කියා මෛත්‍රී භාවනාව කිරීම අපල සමනය වීමට හේතුයි. සුබ පාට - ලා කොළ, සුබ අංකය - 4.

කටක - සඳු හිමි කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සෙනසුරු සමඟ පස්‌වැන්නේද රවි සමඟ කුජ ලග්නයේද ගමන් කරමින් උදාවන මේ මාසය මිශ්‍රපල දායක බව පෙන්වයි.

මාසය ආරම්භයේ දී දරුවෙකු පිළිබඳව සිත් තැවුලක්‌ ඇති වීමට ඉඩ තිබේ. හිතේ නොසන්සුන් හා කලබල ගතිය නිසා එදිනෙදා වැඩ කටයුතු අවුල් වීමට ඉඩ තිබේ. හිසේ ඌෂ්ණාධික රෝග පවතීනම් ප්‍රවේශම් වන්න. අධ්‍යාපන කටයුතුවලට බාධා විය හැක්‌කේ අලස බව හා වැඩ කල් දැමීම වැනි හේතු වන නිසාය. උනන්දු වීම වැදගත් බව සලකන්න. වාහන ගණුදෙණු හා නිවාස ඉදිකිරීම් වැනි කටයුතුවලදී දූරදර්ශීව ක්‍රියා කරන්න.

අගෝස්‌තු 17 දින සිදුවන රාහු මාරුවෙන් පසුව ඔබේ අධික වියදම් පාලනය විය හැකි නමුත් හිතේ චංචල බව හා විවාහ බාධා ඇති විය හැකිය. රාහු දශා ගතකරන අය ග්‍රහ ශාන්ති කර්ම කරගැනීම යහපත් වේ. බුද්ධ පූජා තබා චන්ද පිරිත හා සූර්ය පිරිත භාවිතා කිරීම අපල සමනය වීමට හේතුයි. සුබ පාට - කහ, තැඹිලි, සුබ අංකය - 5.

සිංහ - රවි හිමි සිංහ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති රවි නීච කුජ සමඟ දොළහේත් බුධ සමඟ රාහු ලග්නයේත් ගමන් කරමින් උදාවන මේ මාසය ගෘහ ජීවිතය පිළිබඳ බාධා ඇති කරන බව පෙනේ.

මාසයේ මුලදී පදිංචිය පිළිබඳ ගැටළුවක්‌ හෝ පවුලේ අය සමඟ අමනාපයක්‌ ඇති වීමට ඉඩ තිබේ. පසුගිය කාලයේ ගනු ලැබූ තීරණ ගැන සිත් තැවුලක්‌ද ඇති වීමට ඉඩ තිබේ. නීතිමය ගැටළුවලට මැදිහත් නොවීමට වග බලා ගන්න. නඩුවකින් අවාසි සහගත තීන්දුවක්‌ ලැබිය හැකිය. විදේශ ගමන් පිළිබඳ කටයුතුවලට බාධා පවතී. මේ අතර යහළු යෙහෙළියන් සමග සතුටින් කාලය ගත වේ. ආදයම් මාර්ග සතුටුදායක වේ. ගෙදර දියුණුවට කරන කටයුතුවලට බාධා පවතී. රුධිර පීඩනය, හෘදයාබාධ ඇති අය ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වෙන්න. සුබ පාට - මිශ්‍ර ලා පාට, සුබ අංකය - 6.

කන්‍යා - බුධ හිමි කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ ලග්නයට හා දහවැන්නට අධිපති බුධ, රාහු සමඟ දොළහේද රවි කුජ එකොළහේද, ගුරු ලග්නයේද ගමන් කරමින් උදාවන මේ මාසය සුබා සුබ මිශ්‍රපල දායක තත්ත්වයක්‌ පෙන්වයි. මාසය ආරම්භයේදී සහෝදරයකු හෝ අසල්වාසියෙකු අමනාප වීමට ඉඩ තිබේ. නිෂ්ඵල ගමන් බිමන් යෙදේ. විදේශ රැකියා පිළිබඳ බලාපොරොත්තු සාර්ථක කර ගැනීම අදාළ අංශවලින් පහසුකම් සැලසේ. විදේශ ගමනක්‌ හෝ දුර ගමනක්‌ යැමට සිදුවිය හැකියි. ආදායම් මාර්ගවලට තරමක බාධා පවතී. ගෘහ ජීවිතය මිශ්‍රපල දායකයි. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිවේ. බිරිඳ හෝ සැමියා සමඟ තිබූ අමනාපකම් දුරු වේ. අවිවාහක අයට මංගල යෝග යෙදේ. ආගමට දහමට හිත යොමු වේ. උසස්‌ කෙනෙකු අමනාප විය හැකි නිසා දුර දිග බලා කටයුතු කරන්න. රාහු මාරුව අගෝස්‌තු 17 පසුව සුබ පලදායකයි. සුබ පාට - මිශ්‍ර ලා සුබ අංකය - 6.

තුලා - ඔබේ ලග්නාධිපති සිකුරු නමයේද රවි සමඟ කු=ජ දහයේ හා ශනි දෙවැන්නේ සඳු සමඟ ගමන් කරමින් අගෝස්‌තු මාසය උදාවෙයි. බොහෝ දුරට සුබ පලදායක බව පෙනේ. රැකියා හා ව්‍යාපාරික අංශවල බලාපොරොත්තු සාර්ථක කරගත හැකිවේ. අන් අය අතර නායකයකු ලෙස පිළිගැනීමක්‌ ඇති වේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස්‌ වීමක්‌ ලැබීමට ඉඩ ඇත. රැකියා නැති අයට රැකියා ලාබ ලැබෙන කාලයකි. උසස්‌ අයගේ නීතිමය අංශවල උදව් උපකාර ලැබේ. ආගමික උත්සවයකට සහභාගී විමට අවස්‌ථාව උදාවේ. අගෝස්‌තු 17 සිදුවන රාහු මාරුව විදේශ ගමන් හෝ විදේශ රැකියා බලාපොරොත්තු සාර්ථක කරවයි. එහෙත් රහස්‌ සතුරන්ගෙන් ප්‍රවේශම් වන්න. බිරිඳ හෝ සැමියාගේ

රැකියා තනතුරුවලට බාධා ඇති වීමට හේතුයි. මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට මේ මාසය සුබ නැත. කල් දැමීම යහපත්ය. හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වන්න. සුබ පාට - ලා කොළ, මිශ්‍ර ලා, සුබ අංක - 6, 4.

වෘශ්චික - ඔබේ ලග්නාධිපති කුජ නීචව රවි සමඟ නම වැන්නේද සඳු හා ශනි ලග්නයේද, ගුරු එකොළහේද ගමන් කරමින් මේ මාසය උදා වන්නේය. තරමක බාධා ඇති කරවන ග්‍රහචාරයක්‌ පවතින බැවින් ඉතා කල්පනාකාරීව හා දූරදර්ශීව කටයුතු කිරීමට වග බලා ගන්න. වාසනාව, භාග්‍යය ගැන නොව ඔබේම ශක්‌තිය ගැන විශ්වාසය තබා ධෛර්යමත්ව ක්‍රියා කිරීමෙන් බාධා ජයගත හැකි වේ. උසස්‌ අධ්‍යාපන කටයුතුවලට බාධා පවතී. ඔබේ දියුණුව නොඉවසන රහස්‌ සතුරන්ගෙන් ප්‍රවේශම් වන්න. රාහු කේතු ග්‍රහ මාරුව අගෝස්‌තු 17 සිට තරමක සුබ පල උදා කරනවා ඇත. විදේශ ගමන් සාර්ථක වේ. රැකියා හා ව්‍යාපාර අංශවල උසස්‌ අයගේ උදව් උපකාර ලැබේ. නීතියේ පිහිටද ලැබිය හැකියි. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. සෙනසුරු දශා ගතකරන අයට තරමක්‌ අපල දායකයි. සෙම් රෝග වලින් ප්‍රවේශම් වන්න. දිනපතා කරණීයමෙත්ත සූත්‍රය කියා ටික වෙලාවක්‌ මෙත් වැඩීම සුබපල දෙනු ඇත. සුබ පාට - සුදු, ක්‍රීම්, සුබ අංක - 2, 5.

ධනු - ගුරු හිමි ධනු ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති මෙන්ම සිව්වැන්නාධිපති ගුරු දහයේද, රවි සමඟ නීච කුජ අටවැන්නේද ගමන් කරමින් උදාවන මේ මාසය තරමක්‌ දුරට අපලදායක බව පෙනේ. විශේෂයෙන්ම රවි අටවැන්නේ ගමන් කරන අගෝස්‌තු මස 16 දින දක්‌වා ශරීර සනීපයට බාධා උෂ්ණාධික රෝග, නීතිමය ගැටළු, උසස්‌ අය අමනාප වීම් වැනි අපල ඇති වීමට හේතුයි. මේ අතර 17 වැනි දින රාහු හා කේතු මාරුවද එතරම් සුබ නොවේ. හිතේ අවුල් චංචල බව උදරාබාධ ආශ්‍රිත හිසේ රෝග ගැස්‌ට්‍රයිටීස්‌ වැනි රෝග ඇති විය හැකි කාලයකි. තද ලෙස කේන්ති යන අතර දරුවන් පිළිබඳ චිත්ත පීඩාද ඇති වීමට හේතුයි. භාග්‍යය, වාසනාව ගැන නොව උත්සාහය, ධෛර්ය ගැන විශ්වාසය තබා ක්‍රියා කිරීම මැනවි. කෙසේ නමුදු විවාහ සහකරුගේ මෙන්ම අන් අයගේද ආධාර උපකාර ලැබෙනවා ඇත. උෂ්ණාධික ආහාර ගැනීම අගුණයි. අනතුරුවලින් ප්‍රවේශම් වන්න. මරණයට කැපවූ සතුන් නිදහස්‌ කිරීම, ලේ දන්දීම මෙන්ම බුද්ධ පූජා තබා කරණීයමෙත්ත සූත්‍රය, සූරිය පිරිත භාවිතා කිරීමද, මෛත්‍රී භාවනාවද අපල සමනය වීමට හේතු වන්නේය. සුබ පාට - කහ, තැඹිලි, සුබ අංකය 5.

මකර - ඔබේ ලග්නාධිපති ශනි සමග සඳු එකොළහේද, බුධ සමඟ රාහු අටේද, රවි සහ නීච කුජ හතේද ගමන් කරමින් උදාවන අගෝස්‌තු මාසය තරමක මිශ්‍රපලදායක බවක්‌ පෙන්වයි. හිත මිතුරන්ගේ ආධාර උපකාර ලැබෙන අතර අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමටද අවස්‌ථාව උදාවේ. ආදායම් මිශ්‍රපල දායකයි. ආගමට දහමට හිත යොමු වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකි වේ. නමුත් කුජ නීචව ගමන් කරන අගෝස්‌තු 27 දක්‌වා කාලය ගෘහ ජීවිතය පිළිබඳව බාධා හා විවාහ බාධා ඇති කරයි. අවිවාහක අයගේ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට සුබ නොවේ. පෙම් සබඳතාවලට බාධා පවතී. රාහු මාරු වීම නිසා අගෝස්‌තු 17 පසුව රාහු අපලය තිබූ අයට සහනදායක කාලයක්‌ උදාවේ. ස්‌නායුගත රෝගවලින් පෙළෙන අය ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. බුධ දශා විශේෂයි. දහම් ප`ඩුරු හා ඖෂධ පූජාව අපල සමනයට හේතුයි. සුබ පාට - නිල්, සුබ අංකය - 7.

කුම්භ - සෙනසුරු ග්‍රහයාට හිමි කුම්භ ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ දහවැන්නේ ශනි සමග සඳුද, අටේ ගුරුද, හයේ රවි සමඟ කුජද ගමන් කරමින් උදාවන මේ මාසය මිශ්‍රපල දායක බව පෙනේ. දූ දරුවන්ගේ කටයුතු සතුටුදායක ලෙස කරගත හැකි වේ. රැකියා හා ව්‍යාපාර අංශවල සේවක සේවිකාවන්ගේ සහයෝගය නිසා බොහෝ දුරට සාර්ථක කරගත හැකි වේ. මේ අතර පවුලේ වියදම් ඉහළ යන බවද පෙනේ. තැන්පත් මුදලක්‌ පවා වැය වීමට ඉඩ තිබේ. ආදායම් මාර්ගවලද අවහිරතා ඇතිවීමට හේතුයි. රහස්‌ සතුරු බලවේග ක්‍රියාත්මක වන බැවින් ප්‍රවේශම් වන්න. උසස්‌ අයගේ උදව් උපකාර ලැබේ. නීතියේ පිහිට ලැබේ. ණය මුදලක්‌ ලබාගත හැකි වේ. දියවැඩියාව, කොලෙස්‌ටරෝල් වැනි රෝගවලින්ද, හදිසි අනතුරුවලින්ද ප්‍රවේශම් වීමට සැලකිලිමත් වෙන්න. සුබ පාට - නිල්, සුබ අංකය 7.

මීන - ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති ගුරු හත්වැන්නේද රවි සමඟ නීච කුජ පස්‌වැන්නේද ගමන් කරමින් උදාවන මෙම මාසය දරුවන්ට තරමක්‌ අපලදායකයි. දරුවෙකු නිසා සිත් තැවුලක්‌ ඇති වීමටද ඉඩ තිබේ. අධ්‍යාපන කටයුතුවලටද බාධා පවතින බව පෙනේ. විවාහ සහකරුට සුබපලදායකයි. අඹු-සැමි සමගිය ඇති වේ. නමුත් අවිවාහක අයගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්‌ථිර කරගැනීම ආදී කටයුතුවලට සුබ නොවේ. ව්‍යාපාර සඳහා මුදල් යෙදවීමේදී දූරදර්ශී විය යුතුය. බලාපොරොත්තු වන ලාභ නොලැබීමට ඉඩ තිබේ. රාහු මාරුව නිසා අගෝස්‌තු 17 දිනට පසුව හිතේ චංචල ගති මෙන්ම අධ්‍යාපන කටයුතුවලට හිත යොමුකර ගැනීමට නොහැකි වීම වැනි බාධා ඇති විය හැකියි. බුද්ධ පූජා තබා වැටකේ මල් සමඟ බෝධි පූජා තැබීමද සූරිය පිරිත හා චන්ද පිරිත භාවිතා කිරීමද අපල සමනය වීමට හේතුයි. සුබ පාට - කහ, තැඹිලි, සුබ අංකය - 5

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්


Wmqgd .ekSu Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks weiqfrks